Thursday, July 9, 2009
පී.බී.ගේ ඉල්ලීම සලකා බැලේ
මුදල් හා සැලසුම් ක්‍රියාත්මක කිරිමේ අමාත්‍යාංශයේ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් ධුරය යළි භාර ගැනීමට අවසර දෙන්නැයි ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා කළ ඉල්ලීම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. ඒ අනුව, අගවිනිසුරු අශෝක එන්. ද සිල්වා මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම ඉල්ලීම ලබන 14 වන දා සලකා බැලීමට නියමිතය. ජාතියේ අවශ්‍යතාවක් සේ සලකා එම ධුර යළිත් භාර ගන්නැයි ජනාධිපතිවරයා තමාට ඇරයුම් කර ඇතැයි ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ දැනුම් දුන්නේය.ඔහු දැනුම් දුන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනුව රජයේ කිසිදු ආයතනයක කිසිදු තනතුරක් සෘජු ලෙස හෝ වක්‍රාකාරව හෝ යළි භාර නොගන්නා බවට තමාගෙන් මීට පෙර ලබා ගත් පොරොන්දු පත්‍රය ඉවත් කරන ලෙස ඉල්ලීමක් කරමිනි. ඔහු වැඩිදුරටත් දක්වා ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණය එවකට හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් කරන ලද නියෝගයක් අනුව එවැනි දිවුරුම් පෙත්සමක් මගින් අධිකරණයට පොරොන්දුවක් දීමට තමාට සිදු වූ බවය. ආචාර්ය ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණගෙන් ඉල්ලා ඇත්තේ, එම පොරොන්දුව අඩංගු දිවුරුම් ප්‍රකාශය බලරහිත කර ජනාධිපතිවරයාගේ ඉල්ලීම ජාතික අවශ්‍යතාවක් සේ සලකා ඉටු කිරීමට තමාට අවස්ථාව දෙන ලෙසය.

