Friday, July 3, 2009

සිඳී බිඳී ගිය සිත් සැනසීමට මානුෂික මෙහෙවර ඇරැඹුවා



මානුෂීය මෙහෙයුම නිම කොට මානුෂික මෙහෙවර දැන් අරඹා ඇති බැවින් නොහොඳ නෝක්කාඩු අතීතයට බාරදී රටේ සංවර්ධනයට එක් වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන පක්ෂ 18ක නියෝජිතවරුන්ගෙන් ඊයේ (2) ඉල්ලා සිටියේය. හොඳ හිත පමණක් අනාගතයට ගෙන යමින් බිඳීගිය සිත් යළි සැනසීමට ප‍්‍රතිසංධානය සහ සංවර්ධනය උදෙසා කටයුතු කළ යුතු බවද ජනපතිවරයා කියා සිටියේය.ප‍්‍රතිසංධානය සහ සංවර්ධනය පිළිබඳ සර්ව පාක්ෂික සමුළුවේ මංගල සැසිවාරය ආරම්භ කරමින් ජනපතිවරයා මේ අදහස් දැක්වීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එය පැවැත්විණි. මේ සර්ව පාක්ෂික සමුළුවට පක්ෂ 18 ක නියෝජිතයන් සහභාගී වූහ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය , එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, මහජන එස්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ජාතික හෙළ උරුමය , ලංකා සමසමාජ පක්ෂය, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය , ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා කම්කරු කොංග‍්‍රසය , දෙමළ ජාතික සන්ධානය , ජාතික සමඟි පෙරමුණ, ජාතික කොංග‍්‍රසය , ඊළාම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය, තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් , ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ , සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසය , එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කණ්ඩායමට අයත් නායකයෝ මේ මංගල සැසියට එක් වූහ.

ජනාධිපතිවරයාගේ ආරාධනා ලැබූ දේශපාලන පක්ෂ නායකයන් සියලු දෙනාම පාහේ මේ අවස්ථාවට එක්වීම විශේෂත්වයකි.

මේ නායකයන් ඇමතූ ජනාධිපතිවරයා, අප අතර වෙනස්කම් නොව සමාන කම් පිළිබඳව සිත යොමු කරමින් මේ වැඩපිළිවෙළ කි‍්‍රයාවට නැංවිය යුතු බව ප‍්‍රකාශ කළේය.

මෙය එක් රජයක හෝ පක්ෂයක වගකීමක් නොව සියලුදෙනාගේම වගකීමක් බව සිහියේ තබාගෙන කටයුතු කළ යුතු බවද පක්ෂ නායකයෝ ඇමතූ ජනාධිපතිවරයා කීවේය.

රටේ අනාගතය වෙනුවෙන් කි‍්‍රයාත්මක කෙරෙන වැඩපිළිවෙළකට සියලු ජාතීන් නියෝජනය කරන සියලු පක්ෂවල අදහස් විමසීම පිළිබඳව ප‍්‍රසාදය පළ කළ පක්ෂ නායකයෝ ඒ සඳහා උපරිම සහයෝගය ලබාදෙන බවට ප‍්‍රතිඥා දුන්හ.

අවතැන් වූ ජනතාව නැවත පදිංචි කොට හැකි ඉක්මනින් සංවර්ධන කටයුතු නිමා කිරීම සියලු දෙනාගේ වගකීම බව සිහිපත් කළ ජනාධිපතිවරයා තැලුණු සිත් යළි සුවපත් කිරීමට එමඟින් හැකි වෙතැයි තමා දැඩි ලෙස විශ්වාස කරන බවත් සඳහන් කෙළේ ය.

අද ආරම්භය සනිටුහන් කෙරුණු මේ වැඩපිළිවෙළ හැකි ඉක්මනින් ප‍්‍රායෝගික කි‍්‍රයාමාර්ගයක් බවට පත් කළ යුතු යැයි පැවැසූ ජනාධිපතිවරයා මේ පිළිබඳව සකසන මූලික ව්‍යුහය දේශපාලන පක්ෂ අතරේ සාකච්ඡා කොට කඩිනමින් යථාර්ථයක් බවට පත් කළ යුතු බවත් කීවේය.

ජාතිවාදයක් පිළිබඳව කථා කෙරුණත් අප ජාතිවාදය අත හැර බොහෝ කලක් ගත වී ඇති බව පැවසූ ජනාධිපතිවරයා ජාතිවාදය අතහැර දමා රටට ආදරය කරන මිනිසුන් ගොඩනැංවිය යුතු බවත් පැවැසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප‍්‍රකාශ කෙළේ ය. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ වලට ආරාධනා කොට ආරම්භ කිරීමට බලාපොරොත්තු වුණේ ප‍්‍රතිසංධානය හා සංවර්ධනය පිළිබඳ සර්ව පාක්ෂික හමුවක් ඇති කොට මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමටයි.

පසුගිය ජනාධිපතිවරණ සමය වනවිට ත‍්‍රස්තවාදය නිසා මානුෂීය මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් අහිමි වූ ජනතාවක් මේ රටේ සිටියා.

ලෝකයේ ප‍්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ විශාලතම මානුෂීය මෙහෙයුම මගින් ඒ ජනතාව බේරාගෙන දැන් ඇත්තේ ඒ බිඳුණු සිත් සැනසීමේ කාර්යයි. ඒක එක රජයක, පක්ෂයක වගකීමක් නොවෙයි.

ඒ නිසා මේ කමිටුවේ බලාපොරොත්තුව ප‍්‍රතිසංධානය හා සංවර්ධනය බව මා දන්වා සිටිනවා. අප එකමුතුව මේ බිඳී ගිය සිත් එකතු කොට මේ ප‍්‍රශ්නය විසඳ්‍ර ගත යුතුයි.

අද උතුරේ කඳවුරුවල අවතැන් වූ 290000 ක ජනතාවක් ඉන්නවා. ඒ අය නැවත පදිංචි කිරීමට කළ යුතු දේ පිළිබඳවත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

අප සියලු දෙනාගේ වගකීම මේ ජනතාව නැවත පදිංචි කිරීමයි. දැනටමත් අපි නැවත පදිංචි කිරීමේ කටයුතු අරඹා තිබෙනවා. පුද්ගලයන් 2409 ක් පවුල් 651 ක් අපි නැවත පදිංචි කළා.

බිම් බෝම්බ ඉවත් නොකොට නැවත පදිංචි කිරීම් කරන්න බැහැ. ඒ වගේම බිම් බෝම්බ ඉවත් කළ පසු නැවත පදිංචි කිරීමට පෙර සහතිකයක් ලබා ගත යුතුයි.

ඒ වගේම අප අමතක නොකළ යුතුයි මොවුන් මේ කඳවුරුවලට ඇවිත් තාම මාස දෙකක්වත් ගත නොවුණු බව. මේ කාලයේ ලක්ෂ තුනක ජනතාවක් මේ කඳවුරුවලට ආවා.

මේ අයගේ මූලික පහසුකම් ලබා දීමටත් අපි පියවර ගත යුතුයි. අපට කිසි කෙනෙක් කඳවුරුවල රඳවා ගැනීමට අවශ්‍ය නැහැ. ජනතාව නැවත පදිංචි කිරීමේ දී ජලය, විදුලිය, මාර්ග යනාදී යටිතල පහසුකම් පිළිබඳවත් සිතන්න ඕනෑ.

ඒ සඳහා අපි දින 180 වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරනවා. ඒ වැඩපිළිවෙළ සාකච්ඡා කරමින් ඉදිරියට යන්න අපට පුළුවනි.

අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතාද මේ අවස්ථාවට එක් වූ අතර ජාතික හෙළ උරුමයේ එල්ලාවල මේධානන්ද හිමියන් හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජාතික පක්ෂයේ කබීර් හෂීම්, ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක, ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ, ලංකා සමසමාජ පක්ෂයේ විමලසිරි ද මැල්, ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඇමැති ඩිව් ගුණසේකර, ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ රාවුෆ් හකීම්, දෙමළ ජාතික සන්ධානයේ එන්. ශී‍්‍ර කාන්තා, ලංකා කම්කරු කොංග‍්‍රසයේ ඇමැති ආරුමුගම් තොණ්ඩමන්, ජාතික කොංග‍්‍රසයේ ඒ. එල්. එම්. අතාවුල්ලා, ජාතික සමඟි පෙරමුණේ ඇමැති ෆේරියල් අශ්රොෆ්, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ වී. ආනන්ද සංගරී, කඳුරට ජනතා පෙරමුණේ පී. චන්ද්‍රසේකරන්, ටී. එම්. වී. පී යේ මහ ඇමැති සිවනේස තුරෙයි චන්ද්‍රකාන්තන්, ඊළාම් ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ, ඇමැති ඩග්ලස් දේවානන්දා යන මහත්වරු ද මෙහි දී අදහස් දැක්වූහ.