Saturday, July 4, 2009

රැකියා විරහිතබවට පිළියම් නොකළොත් එය මානුෂීය අර්බුදයක් වනු ඇත - කම්කරු ඇමති

රැකියා විරහිතභාවය අර්බුදයක් බවට පත්වෙමින් ඇති බැවින් බහුපාර්ශවීයව, ද්විපාර්ශවීයව සහ ජාතික වශයෙන් එක්ව ඒ සඳහා ක්‍රියාමාර්ගයක් නොගතහොත් ලොව පුරා එය මානුෂීය අර්බුදයක් බවට පත්වනු ඇතැයි කම්කරු සබඳතා හා මිනිස්බල අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා පෙන්වා දෙයි. ඔහු පවසන්නේ ආර්ථික වර්ධන ප්‍රමාණයන්හි ලා සංවර්ධිත රටවල තියුණු ලෙස අඩුවීමක් සිදුවී ඇති අතර ඉන් වඩාත් බලපෑමට ලක්වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් බවයි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මුළු අපනයනයෙන් 62%ක් යුරෝපා සංගමය හා එක්සත් ජනපදය සඳහා වන ඒකාබද්ධ අපනයන වෙළෙඳපොළක් මත රැඳී සිටින අතර මුළු අපනයනයෙන් 58%ක් සමන්විත වන්නේ ඇඟලුම්, තේ සහ මැණික්වලිනි.
සෙනෙවිරත්න මහතා පෙන්වා දෙන්නේ සේවකයන් තාවකාලිකව නැවැත්වීම, සමාජ ආරක්ෂණ දායක මුදල් පමාකර ගෙවීම, විශේෂ පහසුකම් හා විශේෂ දීමනා ඉවත් කිරීම හෝ අ‍ඩු කිරීම සහ ස්වේච්ඡාවෙන් වැටුප අඩුකිරීමට ඉඩ සැලසීම ආදිය ශ්‍රම වෙ‍ළෙඳපොළට බලපෑමක් ඇති කරන බවයි.
දුගීකම අඩුකිරීම සඳහා ශ්‍රී ලංකාව විවිධ වැඩසටහන් ක්‍රියත්මක කරනු ලැබුව ද කර්මාන්ත හා රැකියා මට්ටම් ආරක්ෂා කරගැනීම පිණිස ක්ෂණිකව හා ඵලදායීව ශ්‍රම වෙළෙඳපොළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකළහොත් වර්තමාන අර්බුදය දුගී මට්ටම කෙරේ ප්‍රතිශේධාත්මක බලපෑමක් ඇති කළ හැකි බව අමාත්‍යවරයා අනතුරු අඟවයි.