මෙරට ජනවාර්ගික ගැටලුව සඳහා ජනාධිපතිවරයා විසින් 13 වන ව්‍යවස්ථාවට එහා ගිය බලය බෙදීමක් ලබාදෙනු ඇතැයි, අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විශ්වාසය පළකරයි.අද කොඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එක්සත් ජාතික පක්ෂය හා ද්‍රවිඩ සන්ධානය වව්නියාවේ අවතැන් කඳවුරු වලට ගොස් නොමැති බැවින්, ඔවුන් එහි යථා ස්වාභාවය නොදන්නා නිසා ඔවුන් කරන විවේචන ගණන් ගත නොහැකි බවයි. කෙසේවෙතත්, මෙම කඳවුරුවලට යෑමට අවස්ථාවක් ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම පසුගිය කාලයේදී ප්‍රසිද්ධියේ ඉල්ලීම් කළේය.
අවතැන් කඳවුරුවල සිටින ජනතාව බිම් බෝම්බ ඉවත් කිරීමෙන් පසුව සිය ගම්බිම්වල පදිංචි කරනු ඇති බවත් රාජ්‍ය නොවන සංවිධාන පවා මේ වනවිට බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යට සම්බන්ධව සිටින බවත්, මෙහිදී මුරලිදරන් අමාත්‍යවරයා පැවසීය.
පිල්ලයාන් සමග පවතින ගැටුම මේ වනවිට නිරාකරණය වී තිබේදැයි, මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ තමා හා පිල්ලයාන් අතර ඇත්තේ දේශපාලන වෙනස් කමක් පමණක් බවයි.
මේ වනවිට, තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු නිසා සිය පක්ෂය උතුරු නැගෙනහිර ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව, හෙතෙම කීය.
මේ වනවිට, නැගෙනහිර පළාතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාර්යාල බොහෝ ප්‍රමාණයක් ඇතිකර තිබෙන බව, හෙතෙම සඳහන් කළේය.
වසර තිහකට පසුව උතුරු-නැගෙනහිර ජනතාව අමාත්‍යවරුන්ව දකින්නේ දැන් බවත් පසුගිය කාලයේදී, බොහෝ අමාත්‍යවරුන් ප්‍රමාණයක් විවිධ වැඩසටහන් වෙනුවෙන් මෙම ප්‍රදේශ වලට පැමිණි බවත් මුරලිදරන් මහතා පැවසීය

