Thursday, July 9, 2009

ඩෙංගු රෝගීන් 15,529ක් වාර්තා වෙයි

මෙම වසරේ ජනවාරී 01වනදා සිට ඊයේ (08) වන විට ඩෙංගු රෝගීන් 15,529ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන එක්කය රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
ඩෙංගු මරණ 168ක් වාර්තා වී තිබෙන අතර කොළඹ, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල මේ වන විට ඩෙංගු උවදුර පවතින බවට වාර්තා වී තිබේ.

කැප්ටන් කොලරාඩෝ කොළඹට

උතුරේ අවතැන්වූ ජනතාව වෙනුවෙන් ආධාර රැගත් එම්.වී. කැප්ටන් කොලරාඩෝ නෞකාව මේ වන විට කොළඹ වරායට ළඟා වී ඇති බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජය රජයේ නිල පුවත් වෙබ් අ‍ඩවියට පැවසීය.
රුපියල් මිලියන 16.7ක වටිනාකමින් යුත් භාණ්ඩ මෙට්‍රික් ටොන් 650ක් සමඟ මෙම නෞකාව මෙරටට පැමිණ ඇත. මෙම භාණ්ඩ තොගය අතර සහල්, පිටි, කිරිපිටි ඇතුළු ආහාර ද්‍රව්‍ය මෙන්ම ඖෂධ වර්ග ද, ළදරු ආහාර ද අඩංගු වේ.
මෙම ද්‍රව්‍ය වව්නියාව සුබසාධන මධ්‍යස්ථානවල සිටින ජනතාව වෙත බෙදාහැරීමට අපේක්ෂා කෙරේ.
ඉන්දියානු රතු කුරුසයේ ආධාර රැගෙන මෙම නෞකාව පැමිණ ඇති බවත්,‍ කැප්ටන් අලි නෞකාවේ භාණ්ඩ මෙහි පවතින්නේ ද යන්න පිළිබඳව සනාථ කළ නොහැකි බවත් රතු කුරුසය අනාවරණය කළේය.

පී.බී.ගේ ඉල්ලීම සලකා බැලේ

මුදල් හා සැලසුම් ක්‍රියාත්මක කිරිමේ අමාත්‍යාංශයේ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් ධුරය යළි භාර ගැනීමට අවසර දෙන්නැයි ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා කළ ඉල්ලීම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. ඒ අනුව, අගවිනිසුරු අශෝක එන්. ද සිල්වා මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම ඉල්ලීම ලබන 14 වන දා සලකා බැලීමට නියමිතය.

13 ට වැඩි බලයක් දෙනබව, විශ්වාසයි -කරුණා

මෙරට ජනවාර්ගික ගැටලුව සඳහා ජනාධිපතිවරයා විසින් 13 වන ව්‍යවස්ථාවට එහා ගිය බලය බෙදීමක් ලබාදෙනු ඇතැයි, අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විශ්වාසය පළකරයි.
අද කොඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එක්සත් ජාතික පක්ෂය හා ද්‍රවිඩ සන්ධානය වව්නියාවේ අවතැන් කඳවුරු වලට ගොස් නොමැති බැවින්, ඔවුන් එහි යථා ස්වාභාවය නොදන්නා නිසා ඔවුන් කරන විවේචන ගණන් ගත නොහැකි බවයි.

සිසුන් ඇතූළත් කිරීමේදී අමතර මුදල් ගත්තා නම් වහා ගෙවන්න - අධ්‍යාපන ඇමති

පාසල්වලට සිසුන් ඇතුළු කිරීමේදී පහසුකම් හා සේවා ගාස්‌තු සහ පාසල් සංවර්ධන සමිති අරමුදලට අමතරව මුදල් අයකරගෙන තිබේ නම් ඒවා වහාම ආපසු ගෙවීමට විදුහල්පතිවරුන්ට නියම කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (08)දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.
ජ.වි.පෙ. කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා, කොළඹ ප්‍රධාන පෙළේ පාසල් දෙකක්‌ රුපියල් 5760ක්‌ හා රුපියල් 3600ක්‌ බැගින් පහසුකම් හා සේවා ගාස්‌තුවලට අමතරව විදුලි ගාස්‌තු, ආරක්‌ෂක ගාස්‌තු, ඇගයුම් ගාස්‌තු, පුස්‌තකාල ගාස්‌තු, පැවරුම් ගාස්‌තු ලෙසින් මුදල් අයකරගෙන ඇති බව පවසමින් අසන ලද ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කර සිටියේය.
මේ සඳහා අද (09)දින සියළුම විදුහල්පතිවරුන්ට නිල වශයෙන් දැනුම් දෙන බව කී ඇමතිවරයා චක‍්‍රලේඛයට පටහැනිව අතිරේක වශයෙන් මුදල් අයකරගෙන ඇති පාසල් විගණන පරීක්‌ෂණයකට යොමු කරන බවද, ප්‍රකාශ කර සිටියේය.

Monday, July 6, 2009

කාන්තා මලල කී‍‍්‍රඩා ශූරතාවලිය ජූලි18 සහ 19 දිනවල කොළඹ දී

2009 වාර්ෂික කාන්තා මලල කී‍‍්‍රඩා ශූරතාවලිය ජූලි 18 සහ 19 දිනවල කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ශ‍්‍රීලංකා මලල කී‍‍්‍රඩා සංගමය විසින් මෙම කී‍‍්‍රඩා ශූරතාවලිය මෙහෙයවනු ලබයි. මේ සඳහා අයදුම්පත් ලබන 14 වනදා දක්වා යොමු කළ හැකි අතර මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු අංක 33 ටොරින්ටන් මාවතල කොළඹ 07 යන ස්ථානයෙන් ලබා ගත හැකිය.

NGO හා UN වියදම් කිරීම ප්‍රමාදයි - ජනපති

වව්නි‍යාවේ අවතැන් කඳවුරුවල වැසිකිලි ප්‍රශ්නයක් තිබෙන්නේ රජයේ ප්‍රශ්නයක් නිසා නොවන බවත් රාජ්‍ය නොවන සංවිධාන හා එක්සත් ජාතීන්ගේ සංවිධානය විදේශ ආධාර වියදම් කිරීම ප්‍රමාද නිසා බවත් ජනාධිපතිවරයා කියයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා " හින්දු" පුවත් පතේ කර්තෘල එන්ගරාම් සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබෙන්නේල යුරෝපයෙන් හා වෙනත් රටවල් වලින් අවතැන් ජනයා වෙනුවෙන් ලැබී තිබෙන මුදල් රාජ්‍ය නොවන සංවිධාන හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට‍ ලැබී තිබුණත් ඒවා අවතැන් වූවන් සඳහා වියදම් කිරීම ඉතාමත් මන්දගාමීව සිදුවන බවයි. රජය රුපියල් බිලියන දෙකක පමණ මුදල් වියදම් කර මෙම අවතැන් කඳවුරු වලට ජලයල විදුලියල ඇතුළු පහසුකම් ලබාදී තිබෙන බවත් ලෝකයේ ඕනෑම රටක පවතින අවතැන් කඳවුරු වලට සාපේක්ෂව ලංකාවේ කඳවුරු ඉතාමත් හොඳ මට්ටමක පවතින බවත් මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත. තමා නිළධාරීන්ගේ තොරතුරු ගැන පමණක් විශ්වාසය නොතබන බව පවසා තිබෙන ජනාධිපතිවරයා වව්නියාවේ අවතැන් කඳවුරුවල තොරතුරු සොයා බැලීමට තමාගේ හිතවතුන් පිරිසක්ද එහි යැවූ බවත් එම අවතැන් කඳවුරුවල දින කිහිපයක් ගතකර තමාට ඔවුන් තොරතුරු දැන්වූ බවත් පවසා තිබේ.

මෙම කඳවුරුවල තවත් ප්‍රශ්න තිබෙන බව තමා දන්නා බව සඳහන් කර තිබෙන ජනාධිපතිවරයා කියා තිබෙන්නේ ඒවාද විසඳා ගැනීමට කටයුතු කරන බවයි.

දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කිරීමේ සූදානමක්

මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට දැනට වසා ඇති මාර්ගය ඉදිරි කාලයේ දී සැහැල්ලු වාහන සහ ජනතාවගේ ගමනා ගමනය සඳහා යළි විවෘත කිරීමේ සැළැස්මක් පවතින බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.දැනට වසා ඇති මෙම මාර්ගය හේතුවෙන් මගී ජනතාවට මහත් දුෂ්කරතාවන් මතුව තිබේ.
අමාත්‍යවරයා සඳහන් කර සිටියේ දළදා මාලිගා ගොඩනැගිල්ල ජාතික වස්තුවක් වන බැවිනුත්, මාලිගාවට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයත්, මාලිගාව කබෝග් ගලෙන් නිර්මාණය වීම නිසා එහි පවතින තතත්වයත් සැලකිල්ලට ගෙන අදාළ මාර්ගය වසා දැමුණු බවයි. නමුත් ඉදිරියේ දී බරවාහන ගමනා ගමනය සහ තවත් සීමා සහිත නීති කිහිපයක් සමගින් මෙම මාර්ගය යළි ජනතාව වෙනුවෙන් විවෘත කිරීමේ අදහසක් බවතින බව රඹුක්වැල්ල මහතා සඳහන් කරයි. එමෙන්ම ඇමතිවරයා පැවසුවේ වසර 2010 මහනුවර අධිවේගී සංවර්ධන වැඩපිළිවෙල යටතේ දිස්ත්‍රික්කයේ සංවර්ධන ක්‍රියාදාමයන් රැසක් ක්‍රියාවට නැංවීමට ද නියමිත බවයි. එම වැඩපිළිවෙලට අනුව දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින මාලිගාව ප‍්‍රදේශය පූජනීය ප‍්‍රදේශයක් බවට පත් කිරීම සිදුකෙරේ. මේ අනුව ප‍්‍රදේශයේ පරිසරය සුරැකීම හා වාහන තදබදය අඩු කිරීමට ප‍්‍රමුඛත්වය දෙයි. ඒ සඳහා මුළු නගරයේ ප‍්‍රධාන ගොඩනැගිලි සියල්ලම පල්ලෙකැලේ හා කුණ්ඩසාලේ ප‍්‍රදේශවලට ගෙනයාමට සැලැසුම් කර තිබේ.

මහා සංවර්ධනයක් වෙමින් පතින බව යෂුෂි අකාෂි පවසයි

දශක තුනකට වැඩි කාලයක් ත‍්‍රස්තවාදයෙන් හා වෙනත් අභියෝගයන් ගෙන් පීඩා විඳි ශ‍්‍රී ලංකාව මෑතදී ඉතා කෙටි කාලයක දී ලබා ඇති මහා පරිමාණ සංවර්ධනය පිළිබඳව තමා පුදුමයට පත් වන්නේ යැයි ජපානයේ විශේෂ නියෝජිත යෂුෂි අකාෂි මහතා පවසයි.

දහසකුත් ප‍්‍රශ්න මැද උතුරේ සහන ගම්මානවල ජීවත්වන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට අවශ්‍ය නවාතැන්, ජලය, ආහාර යනාදිය ලබා දෙමින් ඔවුන්ගේ ජීවිත නැවත ගොඩ නැඟීමට ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ සියැසින් දැක බලාගත් බවත්, තමා ඒ පිළිබඳව බෙහෙවින් සතුටට පත්වන බවත් හෙතෙම සඳහන් කෙළේ ය.

අකාෂි මහතා මේ අදහස් පළ කෙළේ ශ‍්‍රී ලංකා වානිජ මණ්ඩලය විසින් ඉකුත් දා පවත්වන ලද 2009 ආර්ථික සමුළුවට සහභාගි වෙමිනි. මේ අවස්ථාවට අගමැති රත්නසිරි වික‍්‍රමනායක, ඇමැති ජී.එල්. පීරිස් යන මහත්වරු ද ආර්ථික විශේෂඥයින් ද, ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් ද එක්ව සිටියහ.

Saturday, July 4, 2009

රැකියා විරහිතබවට පිළියම් නොකළොත් එය මානුෂීය අර්බුදයක් වනු ඇත - කම්කරු ඇමති

රැකියා විරහිතභාවය අර්බුදයක් බවට පත්වෙමින් ඇති බැවින් බහුපාර්ශවීයව, ද්විපාර්ශවීයව සහ ජාතික වශයෙන් එක්ව ඒ සඳහා ක්‍රියාමාර්ගයක් නොගතහොත් ලොව පුරා එය මානුෂීය අර්බුදයක් බවට පත්වනු ඇතැයි කම්කරු සබඳතා හා මිනිස්බල අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා පෙන්වා දෙයි.

Friday, July 3, 2009

කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිටත් මරණ තර්ජන

කම්කරු ඇමැති සහ කැලණිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක මර්වින් සිල්වා මහතා තම ජීවිත වලට තර්ජනයක් වී ඇතැයි කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න රණවීර මහතා ඇතුළු පොදු පෙරමුණේ මන්ත‍්‍රීවරු වන ලංකා විජිත කුමාර, නන්දසිරි හේවගේ, එච්.ජේ. සෝමවර්ධන සහ චතුර ධනුෂ්ක යන මහත්වරු පැලියගොඩ පොලිසියට පැමිණ පැමිණිලි කර ඇත.
මතු ආරක්‍ෂාව සදහා මේ පැමිණිලි කළ බවද ඔවුහු පොලිසියට ප්‍රකාශ කර ඇත.
"ප‍්‍රාදේශීය සභාවේ සභාපතිගේ ක‍්‍රියා කලාපයට මා කිහිප වරක්ම විරුද්ධත්වය පළ කළා,ඔහු වැනි අය මාගේ ආසනයේ ඉන්න බැහැ. පොලිසියට පැමිණිලි කළා නම් පොලිසිය විභාග කරාවි" යනුවෙන් කම්කරු ඇමැති මර්වින් සිල්වා කියා ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි

වසංගතයක් බවට පත්ව ඇති ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී. මේ වන විට දිවයින පුරා පුද්ගලයන් 5357 දෙනෙකුට රෝගය වැළඳී ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. මෙම රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර (රෝගීන් 2071, මියගිය ගණන 26), කොළඹ (රෝගීන් 1996, මියගිය ගණන 18), කෑගල්ල (රෝගීන් 1977, මියගිය ගණන 18), ගම්පහ (රෝගීන් 1719, මියගිය ගණන 31), කුරුණෑගල (රෝගීන් 1235, මියගිය ගණන 10) යන දිස්ත්‍රික්කයන්ගෙනි.
ඩෙංගු මදුරුවන්ගේ අභිජනන කටයුතු පිරිසිදු ජලයේ සිදුවන අතර මෙම ප්‍රදේශවලට වරින් වර වැසි සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවීම ‍මීට හේතු වී ඇත.
එබැවින් රෝග ලක්ෂණ මතුවූ වහාම රජයේ රෝහලකින් හෝ ලියාපදිංචි රජයේ වෛද්‍යවරයෙකුගෙන් පමණක් ඒ සඳහා ප්‍රතිකාර ලබාගන්නා මෙන් අමාත්‍යාංශය මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටී.
මීට අමතරව ඩෙංගු රෝගය මර්දනය කිරීමේ අරමුණින් කියුබාවෙන් මෙරටට BTI නම් බැක්ටීරියාවක් ගෙන්වීමට ද තීරණය කර ඇති අතර කඩිනමින් එය මෙරටට ගෙන ඒමට පියවර ගන්නා බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

සිඳී බිඳී ගිය සිත් සැනසීමට මානුෂික මෙහෙවර ඇරැඹුවා



මානුෂීය මෙහෙයුම නිම කොට මානුෂික මෙහෙවර දැන් අරඹා ඇති බැවින් නොහොඳ නෝක්කාඩු අතීතයට බාරදී රටේ සංවර්ධනයට එක් වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන පක්ෂ 18ක නියෝජිතවරුන්ගෙන් ඊයේ (2) ඉල්ලා සිටියේය. හොඳ හිත පමණක් අනාගතයට ගෙන යමින් බිඳීගිය සිත් යළි සැනසීමට ප‍්‍රතිසංධානය සහ සංවර්ධනය උදෙසා කටයුතු කළ යුතු බවද ජනපතිවරයා කියා සිටියේය.ප‍්‍රතිසංධානය සහ සංවර්ධනය පිළිබඳ සර්ව පාක්ෂික සමුළුවේ මංගල සැසිවාරය ආරම්භ කරමින් ජනපතිවරයා මේ අදහස් දැක්වීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එය පැවැත්විණි. මේ සර්ව පාක්ෂික සමුළුවට පක්ෂ 18 ක නියෝජිතයන් සහභාගී වූහ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය , එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, මහජන එස්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ජාතික හෙළ උරුමය , ලංකා සමසමාජ පක්ෂය, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය , ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා කම්කරු කොංග‍්‍රසය , දෙමළ ජාතික සන්ධානය , ජාතික සමඟි පෙරමුණ, ජාතික කොංග‍්‍රසය , ඊළාම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය, තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් , ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ , සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසය , එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කණ්ඩායමට අයත් නායකයෝ මේ මංගල සැසියට එක් වූහ.

ජනාධිපතිවරයාගේ ආරාධනා ලැබූ දේශපාලන පක්ෂ නායකයන් සියලු දෙනාම පාහේ මේ අවස්ථාවට එක්වීම විශේෂත්වයකි.

මේ නායකයන් ඇමතූ ජනාධිපතිවරයා, අප අතර වෙනස්කම් නොව සමාන කම් පිළිබඳව සිත යොමු කරමින් මේ වැඩපිළිවෙළ කි‍්‍රයාවට නැංවිය යුතු බව ප‍්‍රකාශ කළේය.

මෙය එක් රජයක හෝ පක්ෂයක වගකීමක් නොව සියලුදෙනාගේම වගකීමක් බව සිහියේ තබාගෙන කටයුතු කළ යුතු බවද පක්ෂ නායකයෝ ඇමතූ ජනාධිපතිවරයා කීවේය.

රටේ අනාගතය වෙනුවෙන් කි‍්‍රයාත්මක කෙරෙන වැඩපිළිවෙළකට සියලු ජාතීන් නියෝජනය කරන සියලු පක්ෂවල අදහස් විමසීම පිළිබඳව ප‍්‍රසාදය පළ කළ පක්ෂ නායකයෝ ඒ සඳහා උපරිම සහයෝගය ලබාදෙන බවට ප‍්‍රතිඥා දුන්හ.

අවතැන් වූ ජනතාව නැවත පදිංචි කොට හැකි ඉක්මනින් සංවර්ධන කටයුතු නිමා කිරීම සියලු දෙනාගේ වගකීම බව සිහිපත් කළ ජනාධිපතිවරයා තැලුණු සිත් යළි සුවපත් කිරීමට එමඟින් හැකි වෙතැයි තමා දැඩි ලෙස විශ්වාස කරන බවත් සඳහන් කෙළේ ය.

අද ආරම්භය සනිටුහන් කෙරුණු මේ වැඩපිළිවෙළ හැකි ඉක්මනින් ප‍්‍රායෝගික කි‍්‍රයාමාර්ගයක් බවට පත් කළ යුතු යැයි පැවැසූ ජනාධිපතිවරයා මේ පිළිබඳව සකසන මූලික ව්‍යුහය දේශපාලන පක්ෂ අතරේ සාකච්ඡා කොට කඩිනමින් යථාර්ථයක් බවට පත් කළ යුතු බවත් කීවේය.

ජාතිවාදයක් පිළිබඳව කථා කෙරුණත් අප ජාතිවාදය අත හැර බොහෝ කලක් ගත වී ඇති බව පැවසූ ජනාධිපතිවරයා ජාතිවාදය අතහැර දමා රටට ආදරය කරන මිනිසුන් ගොඩනැංවිය යුතු බවත් පැවැසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප‍්‍රකාශ කෙළේ ය. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ වලට ආරාධනා කොට ආරම්භ කිරීමට බලාපොරොත්තු වුණේ ප‍්‍රතිසංධානය හා සංවර්ධනය පිළිබඳ සර්ව පාක්ෂික හමුවක් ඇති කොට මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමටයි.

පසුගිය ජනාධිපතිවරණ සමය වනවිට ත‍්‍රස්තවාදය නිසා මානුෂීය මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් අහිමි වූ ජනතාවක් මේ රටේ සිටියා.

ලෝකයේ ප‍්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ විශාලතම මානුෂීය මෙහෙයුම මගින් ඒ ජනතාව බේරාගෙන දැන් ඇත්තේ ඒ බිඳුණු සිත් සැනසීමේ කාර්යයි. ඒක එක රජයක, පක්ෂයක වගකීමක් නොවෙයි.

ඒ නිසා මේ කමිටුවේ බලාපොරොත්තුව ප‍්‍රතිසංධානය හා සංවර්ධනය බව මා දන්වා සිටිනවා. අප එකමුතුව මේ බිඳී ගිය සිත් එකතු කොට මේ ප‍්‍රශ්නය විසඳ්‍ර ගත යුතුයි.

අද උතුරේ කඳවුරුවල අවතැන් වූ 290000 ක ජනතාවක් ඉන්නවා. ඒ අය නැවත පදිංචි කිරීමට කළ යුතු දේ පිළිබඳවත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

අප සියලු දෙනාගේ වගකීම මේ ජනතාව නැවත පදිංචි කිරීමයි. දැනටමත් අපි නැවත පදිංචි කිරීමේ කටයුතු අරඹා තිබෙනවා. පුද්ගලයන් 2409 ක් පවුල් 651 ක් අපි නැවත පදිංචි කළා.

බිම් බෝම්බ ඉවත් නොකොට නැවත පදිංචි කිරීම් කරන්න බැහැ. ඒ වගේම බිම් බෝම්බ ඉවත් කළ පසු නැවත පදිංචි කිරීමට පෙර සහතිකයක් ලබා ගත යුතුයි.

ඒ වගේම අප අමතක නොකළ යුතුයි මොවුන් මේ කඳවුරුවලට ඇවිත් තාම මාස දෙකක්වත් ගත නොවුණු බව. මේ කාලයේ ලක්ෂ තුනක ජනතාවක් මේ කඳවුරුවලට ආවා.

මේ අයගේ මූලික පහසුකම් ලබා දීමටත් අපි පියවර ගත යුතුයි. අපට කිසි කෙනෙක් කඳවුරුවල රඳවා ගැනීමට අවශ්‍ය නැහැ. ජනතාව නැවත පදිංචි කිරීමේ දී ජලය, විදුලිය, මාර්ග යනාදී යටිතල පහසුකම් පිළිබඳවත් සිතන්න ඕනෑ.

ඒ සඳහා අපි දින 180 වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරනවා. ඒ වැඩපිළිවෙළ සාකච්ඡා කරමින් ඉදිරියට යන්න අපට පුළුවනි.

අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතාද මේ අවස්ථාවට එක් වූ අතර ජාතික හෙළ උරුමයේ එල්ලාවල මේධානන්ද හිමියන් හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජාතික පක්ෂයේ කබීර් හෂීම්, ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක, ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ, ලංකා සමසමාජ පක්ෂයේ විමලසිරි ද මැල්, ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඇමැති ඩිව් ගුණසේකර, ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ රාවුෆ් හකීම්, දෙමළ ජාතික සන්ධානයේ එන්. ශී‍්‍ර කාන්තා, ලංකා කම්කරු කොංග‍්‍රසයේ ඇමැති ආරුමුගම් තොණ්ඩමන්, ජාතික කොංග‍්‍රසයේ ඒ. එල්. එම්. අතාවුල්ලා, ජාතික සමඟි පෙරමුණේ ඇමැති ෆේරියල් අශ්රොෆ්, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ වී. ආනන්ද සංගරී, කඳුරට ජනතා පෙරමුණේ පී. චන්ද්‍රසේකරන්, ටී. එම්. වී. පී යේ මහ ඇමැති සිවනේස තුරෙයි චන්ද්‍රකාන්තන්, ඊළාම් ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ, ඇමැති ඩග්ලස් දේවානන්දා යන මහත්වරු ද මෙහි දී අදහස් දැක්වූහ.

අතීතය අමතක කර අනාගතයට රැස් වේ.

අතීත ප්‍රශ්ණ අමතක කර අනාගතය වෙනුවෙන් රට ගොඩනැංවිමේ වැදගත්කම අද අවසන් වු පළමු සංවර්ධනය සහ ප‍්‍රතිසන්ධාන කටයුතු පිළිබඳ සර්ව පාක්ෂික සමුළුවේ දි සියලුම පක්ෂ අවධාරණය කල බව රජය පවසයි. දෙමළ ජාතික සන්ධානය එස්ගශ්‍රී කාන්ත මන්ත්‍රී වරයාගේ නායකත්වය යටතේදලඑක්සත් ජාතික පක්ෂය කබීර් හෂීමි මන්ත්‍රී වරයා විසින්ද ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ගේ මුළිකත්වයෙන්ද මෙම සමුළුවට සහභාගි වුහ.

සංචාරක අමාත්‍ය ලෙස නන්දන ගුණතිලක සංස්කෘතික කටයුතු කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පියසිරි විජේනායක දිවුරුම් දෙයි.

ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ති‍්‍රක් මන්ති‍්‍ර නන්දන ගුණතිලක මහතා සංචාරක කටයුතු අමාත්‍යවරයා ලෙසත්, ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ති‍්‍රක් මන්ති‍්‍ර පියසිරි විජේනායක මහතා සංස්කෘතික කටයුතු කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසත් අද (02) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාද එක් ව සිටියේය.

සියලු රටවල් ලංකාවේ ආයෝජනයට කැමතියි - ඇමති අනුර යාපා

ලොව සියලු රටවල් මෙරට ආයෝජනය කිරීම සඳහා කැමැත්තෙන් පසුවන බව තොරතුරු හා ජනමාධ්‍ය සහ ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
මේ අනුව ඉදිරියේදී මීරිගම ප්‍රදේශයේ නව ආයෝජන ප්‍රවර්ධන කලාපයක් ඇති කිරීමට නියමිතය. මීට අමතරව චීන ආයෝජකයන් 29 දෙනෙකු ඉදිරියේදී මෙරටට පැමිණීමට අපේක්ෂා කරන අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගියදා නිරතවූ සිංගප්පූරු සංචාරයේදී සිංගප්පූරු හා තායිලන්ත අයෝජකයන් පිරිසක් ද හමුවූ බවත්, ඔවුන් ද මෙරට ආයෝජන සිදුකිරීමට කැමැත්ත පළ කළ බවත් එම සංචාරය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසීය.

Thursday, July 2, 2009

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායක ධූර පිරිනැමේ

රජයට එක්වූ තවත් පිරිසකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායක ධූර පිරිනැමීම ඊයේ පෙරවරුවේදී සිදුවිය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී මෙම සංවිධායක ධූර පිරිනැමීම සිදුවිය.මෙහිදී රජයේ අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන මහතාට හෝමාගම ආසනයද, පී. දයාරත්න මහතාට අම්පාර දිස්ත‍්‍රික්කයේ ආසනයක් ද, අතාවුද සෙනෙවිරත්න මහතා මාවනැල්ල, හේමකුමාර නානායක්කාර මහතා බද්දේගම, ගාමිණී ලොකුගේ මහතාට කැස්බෑව ආසනයද, මනෝ විජයරත්න මහතාට දැදිගම ආසනය ද, පී දයාරත්න මහතා දිගාමඩුල්ල ආසනයද ලෙසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූර පිරිනමා ඇත. දැනට මෙම ආසනවල සිටින ශ්‍රී.ල.නි.ප. සංවිධායකයින් සඳහා දිස්ත‍්‍රික් සංවිධායක ධුර පිරිනමා ඇත.

‘කාර්යාල සේවය පිණිසයි’ බස් සේවාව අද සිට

‘කාර්යාල සේවය පිණිසයි’ යනුවෙන් රාජ්‍ය සේවකයින් සඳහා නව ප්‍රවාහන සේවයක් අද (01) ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 4.00ට ආරම්භ කෙරෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය සරත් අමුණුගම සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම ‍අවස්තාවට සහභාගි වීමට නියමිතය.

ඉන්ධන මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ නැංවේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළ පරිදි ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ යනු ඇත. ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ යයි. ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ යන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. භූමිතෙල් ලීටරයක මිල ඉහළ නැංවෙන්නේ රුපියලකිනි.