Friday, June 5, 2009

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ‘No Action Motion’ ක්‍රියාත්මක වෙයි


ඉතිහාසයේ ප්‍රථම වතාවට ජගත් මානව හිමිකම් කවුන්සලයේදී වෙනත් පාර්ශවයක යෝජනාවක් තවදුරටත් සාකච්ඡා නොකළ යුතුයි යන ‘No Action Motion’ ශ්‍රී ලංකාව වෙනුවෙන් සම්මත වූ බව මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.
අද (04) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ ඇමතිවරයා, පසුගියදා ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පැවති විශේෂ සමුළුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කියුබානු තානාපතිවරයා විසින් ‘No Action Motion’ යෝජනාව ඉදිරිපත් කළ බව කියා සිටියේය.
ඒ අනුව ශ්‍රී ලංකාව පිළිබඳ ජර්මනිය විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනා 09 ක් සාකච්ඡාවකට හෝ භාජනය නොවී හකුළා ගැනීමට සිදු වූ බවද ඇමතිවරයා පැවසීය.
ශ්‍රී ලංකාව විසින් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ පරිච්ඡේද 17 ක යෝජනාව, ශ්‍ර්‍රී ලංකාවට එරෙහිව යුරෝපා රටවල් ඉදිරිපත් කළ යෝජනාවේ ඇතැම් දේ සංශෝධන සහිතව ඇතුළත් කර පරිච්ඡේද 33 ක් දක්වා දීර්ඝ කිරීමෙනුත් අනතුරුව ජර්මනිය විසින් මෙම යෝජනා ඉදිරිපත් කළ බවද ඇමතිවරයා පැවසීය.
ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවල් ඉතා සැලසුම් සහගතව මෙම සමුළුව කැඳවීමට කටයුතු කළද කිසිඳු විනිවිද භාවයක් එහි නොතිබූ අතර අවසානයේ බහුතර ජාත්‍යන්තර මතය ලෙස ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය පිළිගත් අතර පාකිස්ථානය, කියුබාව ඇතුළු රටවල් රැසක් යුරෝපීය රටවල මෙම අසාධාරණ ක්‍රියා කලාපය දැඩි‍ ලෙස හෙළාදකිමින් විවේචනය කළ බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.