Friday, June 12, 2009

ගුවන් මෙහෙයුම් සමාප්තිය අති උත්කර්ෂවත් අයුරින්

ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා පෙරගමනේ යෙදුණු ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය මෙහෙවර අති දක්ෂ ලෙස අවසන් කළ බව දක්වමින් ඊයේ (11) කටුනායක ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රයේදී “ගුවන් මෙහෙයුම් සමාප්ති උළෙල” අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.
රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මේ උළෙල පැවැති භූමියේදී සියලු ප‍්‍රහාරක යානා ඇතුළු යුද මෙහෙයුම්වල දී ප‍්‍රවාහනය නිරීක්ෂණය වැනි විවිධ කටයුතුවලට යොදාගත් ගුවන් යානා සියල්ල ප‍්‍රදර්ශනය කෙරිණි.
ලංකාවේ ප‍්‍රථම වරට එකම ස්ථානයකදී සියලු යානා මෙසේ ප‍්‍රදර්ශනය කෙරුණු අතර ගුවන් ආරක්ෂක පද්ධතියට අයත් යානා, නිරීක්ෂණ උපකරණ හා අවි සියල්ලද එහි දී ප‍්‍රදර්ශනය කරන ලදී.
එම අවස්ථාවට සියලු බලගනවල අණදෙන්නන්, නිලයන් නියමුවන් හා සෙබළ පිරිස් ද එක්ව සිටියහ.
දශක තුනකට වැඩි කාලයක් තිස්සේ පැවැති ත‍්‍රස්තවාදය අවසන් කිරීමේ දී දිවිදුන් සියලු විරුවන් සිහිකරමින් පැවැති කෙටි නිහැඩියාවකින් පසු ඇරැඹි ගුවන් මෙහෙයුම් සමාප්ති උළෙලේ දී ආරක්ෂක ලේකම්වරයා විසින් ගුවන් හමුදාපති එයාර් චීප් මාර්ෂල් රොෂාන් ගුණතිලක ඇතුළු සියලු නිලයන් හා ගුවන් සෙබළ කැළට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා රජයේ මෙන්ම මුළුමහත් ජාතියේම ප‍්‍රණාමය පුදකරනු ලැබීය.