රණවිරුවන් සමඟ එක්ව දිනාගත් රට සහ ශ්‍රී ලාංකික ජාතිය යළි පාවාදීමට කිසිවෙකුටත් ඉඩනොදෙන බවත්, 'මහින්ද චින්තනය' නම් ජනතා ප්‍රකාශය තුළින් ලබාදුන් සියලු පොරොන්දු ඉටුකිරීමට දිවිහිමියෙන් කැපවන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
අද (30) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායක සහ දිස්ත්‍රික් සංවිධායක ධුර පිරිනැමූ අවස්ථාවේදී එතුමා මේ බව සඳහන් කළේය.මෙහිදී ආසන 12ක් සඳහා නව සංවිධායකවරුන් ද, නව දිස්ත්‍රික් සංවිධායකවරුන් 11 දෙනෙකු ද පත්කෙරිණි.මෙහිදී ජනාධිපතිතුමා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැමදා තීන්දු ගත්තේ රට සහ ජාතිය පෙරටු කොටගෙන බවයි. දේශපාලන බලයේ රැඳීසිටීමේ අරමුණින් කිසිදා තම පක්ෂය තීරණ නොගත් බව පෙන්වා දුන් එතුමා රට වෙනුවෙන් ගතයුතු තීරණ නියම කාලය තුළ ගැනීමට කිසිසේත් පසුබට නොවන බව ප්‍රකාශ කළේය.පසුගිය කාලය තුළ කණ්ඩායමක් වශයෙන් එක්ව ත්‍රස්තවාදයෙන් රට නිදහස් කරගැනීමේ අභියෝගය ජයගැනීමට හැකිවූ බවත්, ඉදිරියේදී සංවර්ධන අභියෝගය ජය ගැනීමට සියලු දෙනා එක්ව පොදු අරමුණක් යටතේ කටයුතු කිරීමේ අවශ්‍යතාවත් එතුමා පෙන්වා දුන්නේය.

