Monday, June 29, 2009

නොමිනිසුන්ට නීතියේ ඉහළම දඬුවම ලබාදීමට එල්ලුමගස යළි ක්‍රියාත්මක කළ යුතුයි - ඇමතිනී පවිත්‍රා

පාපතර සාහසිකයෙකුගෙන් ඝාතයට ලක් වූ එල්ලාවල පිටකන්දේ පියුමි ජයසිංහ‍ දැරියගේ අවසන් කටයුතු පසුගිය 26 දා පිටකන්ද ගම්මානයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට සහභාගි වූ තරුණ කටයුතු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සිටියේ, මෙවන් අපරාධයක් සිදුකළ නොමිනිසාට නීතියෙන් ලබාදිය යුතු ඉහළම දඬුවම ලබාදිය යුතු බවයි. එසේම මෙවැනි කුරිරු අපරාධකරුවන්ට නීතියෙන් හා සොබාදහමින් දඬුවම් ලැබීම නොවැළැක්විය හැකි බවත් එතුමිය සඳහන් කළාය. තවද මෙවැනි මිනීමරු නොමිනිසුන්ට නීතියේ ඉහළම දඬුවම ලබාදීමට එල්ලුමගස නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ජනපතිතුමාගෙන් ඉල්ලා සිටි බවත් එල්ලුම්ගස ක්‍රියාත්මක කළ යුතු කාලය උදාවී ඇති බවත් වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.