Sunday, June 7, 2009

උතුරෙන් කොළඹට ගෙනැවිත් සැඟවූ අවි, පුපුරන ද්‍රව්‍ය සොයයි

ප‍්‍රභූ ඝාතන ඇතුළු විනාශකාරී කි‍්‍රයා සඳහා යොදා ගැනීමට උතුරේ සිට දකුණට ගෙන එනු ලැබූ අධිබලැති පුපුරන ද්‍රව්‍ය ගිනිඅවි හා මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල හා කොටි සාමාජික සාමාජිකාවන් සොයා ගැනීමට බාරවූ හා අල්ලාගත් ප‍්‍රබල කොටි විසි දෙනකු ගෙන් පමණ සමන්විත කණ්ඩායමක ගෙන් තොරතුරු ලබා ගැනීමට රහස් පොලිසිය හා ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත.
මරාගෙන මැරෙන කොටි සාමාජිකයන් බුද්ධි අංශ සාමාජිකාවන් ඇතුළු පිරිස් සාමාන්‍ය වැසියන් සේ දැනට දකුණේ නිහඬව රැඳී සිටින බවට ලැබුණු තොරතුරු මත අත්අඩංගුවේ සිටින ප‍්‍රබල කොටින් ගෙන් දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කිරීම් අරඹා තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.
දකුණේ විනාශකාරී කි‍්‍රයා සිදුකොට උතුරට පළා ගිය ත‍්‍රස්තවාදීන් මෙන් ම එම ප‍්‍රහාර උතුරේ සිට සැලැසුම් කළ මෙතෙක් අල්ලා ගැනීමට නොහැකිවූ කොටි ප‍්‍රබලයන් කොටු කරගැනීමත්මේ පරීක්ෂණයේ අරමුණ බව ද හෙතෙම ප‍්‍රකාශ කළේය.
ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත වන්නි දිසා බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා ගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන මෙම වැඩපිළිවෙළින් දැනටමත් සාර්ථක ප‍්‍රතිඵල ලබා ගෙන ඇත.
වව්නියාව දිස්ති‍්‍රක්කයේ පැවැති ආරක්ෂක සැලැස්ම පවා වෙනස් කොට බුද්ධි අංශ ස්ථාපිත කිරීම මෙහි මූලික පියවර වී ඇත.
මේ වන විටත් ප‍්‍රභූ ඝාතන සැලැසුම් රැසක් හෙළිවී ඇති අතර පුපුරන ද්‍රව්‍ය අවිආයුධ විශාල තොගයක් වළ දමා තිබියදී සොයාගෙන තිබේ. කන්ටේනර තුනක සඟවා වළ දමා ඇතැයි කියන අවිආයුධ තොගයක් පිළිබඳව ද එක් කොටි සාමාජිකයකු හෙළිදරව් කර ඇති බව ද හෙතෙම පැවැසුවේය.
යුදමය කලාපයට වඩා දකුණේ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමුවිය යුතු බැවින් මෙම ප‍්‍රශ්න කිරීම් කඩිනම් කර ඇති බවත් එමගින් දකුණට ඇති හා තිබුණු තර්ජනය හඳුනාගත හැකි බවත් ඔහු සඳහන් කළේය.