Monday, June 1, 2009

පෞද්ගලික අවශ්‍යතා පසෙකලා ජාතියේ අවශ්‍යතාව ඉටුකිරීමට කැපවෙමු


රට හමුවේ පැවැති දැවැන්ත අභියෝගයක් වූ ත‍්‍රස්තවාදය ජය ගැනීමට හැකි වුයේ පෞද්ගලික අරමුණු පසෙක තබමින් සමස්ත ජාතියේ ම අවශ්‍යතාවය නිවැරදිව හඳුනාගෙන එක් අරමුණක් යටතේ කටයුතු කළ නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කෙළේ ය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව අවධාරණය කළේ අද (01) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ගුරු පත්වීම් ප‍්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි. ඒ ආකාරයෙන් ම මේ රටේ සංවර්ධන අභියෝගය ද ජය ගැනීමට සියලු දෙනා එක් අරමුණක් යටතේ කටයුතු කළ යුතු බවද ජනාධිපතිතුමා එහිදී අවධාරණය කළේය. දිවයිනේ විවිධ පළාත්වල සේවය සඳහා සිංහල, දමිළ සහ ඉංගි‍්‍රසි ගුරුවරුන් 959 දෙනෙකුට මෙහිදි පත්වීම් ලිපි ප‍්‍රදානය කෙරිණි. අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන්, අධ්‍යාපන අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, නියෝජ්‍ය අමාත්‍ය සචිත්තානන්දන්, අමාත්‍යාංශයේ ලේකම් නිමල් බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක්ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.