‘අපි කොහේවත් තියෙන රටක කාබන් කොපියක් නොවෙයි. ලෝකයටත් පරාද කළ නොහැකි ත‍්‍රස්තවාදය පරාද කරන්න ආසියාවෙන් ධෛර්යය දුන්න අපේ රට ආසියාවේ ආඩම්බරය බවට පත්කර ගන්න ඕනෑ.’ යැයි කොළඹ ගාලූමුවදොර පිටියේ අද (03) පැවැති රණවිරු උත්තමාචාර උළෙලේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.ජනාධිපතිවරයා පැවැත්වූ සම්පූර්ණ කථාව මෙසේය.
මම අද ජාතික ධජය එසවූයේ එක්සේසත් කරනු ලැබූ මාගේ මාතෘ භූමිය මත බව මම මහත් ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව ප‍්‍රකාශ කරනවා. එසේම ඓතිහාසික විජයග‍්‍රහණයක් ලැබූ රණකාමිත්වයෙන්, විනයෙන්, කාර්යශූරත්වයෙන්, වීරෝධාරත්වයෙන් ලොව මවිතයට පත් කළ ත‍්‍රිවිධ හමුදාවක් මා ඉදිරියේ සිටිනවා. ඒ වාගේම ශ්‍රේෂඨ අනාගතයක් උදාකර ගැනීමට සුබ සිහින දකිමින් සිටින ශ‍්‍රී ලාංකික ජාතිය මා මේ මොහොතේ අමතන්නේ අපේ අනාගතය පිළිබඳව මහත් බලාපොරොත්තු ඇතිවයි. මිත‍්‍රවරුනි, මාගේ මාතෘ භූමිය එක්සේසත් කළ ඒ උදාර මානුෂික මෙහෙයුම ශ්‍රේෂ්ඨ අනාගතයක් කරා පා නැගීමට සූදානමින් සිටින්නා වූ අප ජාතියට මං පෙත විවර කර තිබෙනවා. පසුගිය දින කිහිපයේ ඇතිවුන සිදුවීම් වලින් අපට පෙණුනා අප මාතෘ භූමිය ලබා ගත් මේ විජයග‍්‍රහණය පිළිබඳව මුළු ලෝකයම පුදුමයට පත් වූ බව. ත‍්‍රස්තවාදය පරාජය කිරීම ගැන බොහෝ රටවල් අප වෙත ඔවුන්ගේ සතුට පළ කලා.
ලෝකය මේ වාගේ බලගතු ත‍්‍රස්තවාදී සංවිධානයක් මෙතෙක් දැකලා තිබුණේ නෑ. නැව්, ගුවන් යානා, සබ්මැරීන්, දැවැන්ත ගිනි අවි, ඒ සියල්ලටමත් වඩා මරාගෙන මැරෙන බෝම්බකරුවන්, බෝම්බ කාරියන්. මේ නිසාම ලෝකයේ බලවත්ම ත‍්‍රස්තවාදී සංවිධානය මෙල්ල කරන්න නම් ලොව බලවත් රාජ්‍යයක හමුදාවක් හෝ එක්සත් ජාතීන්ගේ හමුදා යෙදවිය යුතු බවට සමහරු මත පල කළා.
අවුරුද්දක් දෙකක් නෙවෙයි, අවුරුදු තිහක කාලයක් තිස්සේ ත‍්‍රස්තවාදීන් අපේ මාතෘ භූමියේ කොටසක් අල්ල ගත්ත ආකාරය ඉතාම බිහිසුණුයි. ඔවුන් මුළු රටම යටත් කර ගන්න තිබූ සැලසුම් දරුණුයි.
2005 වෙන කොට රාජ්‍ය නායකයෝ හතර දෙනෙක් එක්ක යුද්ධ කරලා එක නායකයෙක් මරා දාලා ත‍්‍රස්තවාදී නායකයා නිරුපද්‍රිතව හිටියා. බලවත් වූ ඉන්දියානු හමුදාවත් එක්ක යුද්ධ කරලා අවසානයේ කීර්තිමත් ඉන්දියානු අගමැතිවරයෙකුත් ඝාතනය කළා. අපේ නාවික හමුදාපතිවරයෙක් වුන අද්මිරාල් ක්ලැන්සි ප‍්‍රනාන්දුවත් ඝාතනය කළා.
අපගේ වීරෝධාර සෙන්පතිවරුන් වන ලූතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, මේජර් ජෙනරාල් විජය විමලරත්න, මේජර් ජෙනරාල් ලකී විජේරත්නගේ ඉඳන් ලූතිනන් ජෙනරාල් පාරමී කුලතුංග වගේම තවත් සෙන්පතිවරුන් ඝාතනය කරන්න එල්.ටී.ටී.ඊ.යට පුළුවන් කමක් ලැබුණා. ඩෝරා යාත‍්‍රා රාශියක් ගිල්වලා තමාගේම නැව් වලින් ආයුධ ගෙන්වමින් ඉන්න අතරේ ගුවන් යානා ගණනාවක් බිම දමලා ගුවන් නියමුවෝ නැව් වලින් ආයුධ ගෙන්වමින් ඉන්න අතරේ ගුවන් යානා ගණනාවක් බිම දමලා ගුවන් නියමුවෝ 35 කට වඩා ඝාතනය කළා. රන්ජන් විජේරත්න ආරක්ෂක ඇමතිවරයාත් වඩමාරච්චි මෙහෙයුමට මඟ පෙන් වූ ලලිත් ඇතුලත්මුදලි හිටපු ආරක්ෂක ඇමතිවරයාවත් ඝාතනය කළා.
අධිආරක්ෂිත කලාපයක් වේවා, උතුම් දළදා මාළිගාව වේවා, මේ ඕනෑම තැනකට දරුණු ප‍්‍රහාර එල්ල කිරීමට එල්.ටී.ටී.ඊ.යට පුළුවන්කම ලැබුණා. කොළඹ ඇතුළු අපේ ආර්ථික කලාපය ත‍්‍රස්තවාදීන්ගේ පහසු ගොදුර බවට පත්වෙලා තිබුණා.
මේ නිසා ත‍්‍රස්තවාදීන්ට එරෙහිව පහර දෙන්න එක නොවෙයි, ඔවුන්ට විරුද්ධව කතා කරන එකත් පරම්පරා ගණනක් පළි ගැනීමට ලක්වෙන බිහිසුණු දෙයක් වුණා. ඒත් ඒවා නවත්වන්න පුළුවන් කෙනෙක් ලෝකයේ හිටියේ නෑ. සාම ගිවිසුම කාලේ ත‍්‍රස්තවාදීන් තවත් ඒකාධිපති ආණ්ඩුවක් තරමට වර්ධනය වුණා. අවාසනාවකට අපේ පොලීසියේ, හමුදාවේ නිලධාරීන්ට දහස් ගණන් මිනී මරපු මේ ත‍්‍රස්තවාදීන්ට ආරක්ෂාව සළසා දෙන්නත් සිද්ධ වුණා. හැබැයි, ත‍්‍රස්තවාදීන් කුපිත වෙන නිසා අපේ හමුදාවේ නිලධාරීන්ට බංකරයක් හදන්න ගෝනි කෑල්ලක්වත් ආණ්ඩුව දුන්නේ නෑ.
ත‍්‍රස්තවාදීන් ඇවිත් අපේ හමුදාවේ සෙබළුන්ගේ බංකර් ඉදිරියේ ඇඳි වත ඔසවලා පෙන්වූවත් සාමය වෙනුවෙන් ඉවසන්න කියලා උපදෙස් ලැබී තිබුණේ. 2005 මා ජනාධිපති ලෙස පත්වන විට හමුදාවට උතුරු කරයේ එහේ මෙහේ යන්න පුළුවන් වුනේ තුවක්කුව අතැතිව, හැබැයි වෙඩි උණ්ඩ නැතිව. අප අමතක කළ යුතු නැහැ, එහෙම ගිය නිරායුධ සෙබළ පිරිසකටයි 2005 දෙසැම්බර් මාසයේ ත‍්‍රස්තවාදීන් ප‍්‍රහාරයක් එල්ල කොට මරා දැමුවේ. මේවා බලා හමුදාවට උහුලා ගෙන ඉන්න සිද්ධ වුණා.
වසර දහස් ගණනක් තිස්සේ ලෝකයේ දරුණුම ආකමණිකයන්ට මුහුණ දීලා, ඔවුන් පරාද කරලා, තමන්ගේ මාතෘ භූමිය බේරා ගත් ජනතාවකගෙන් පැවත එන රටක් මේක. දුටුගැමුණු මහ රජතුමාගේ ඉඳන්, සිංහලේ අන්තිම රජු ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ දක්වාත්, කැප්පෙටිපොළ වීරපුරංඅප්පු දක්වාත්, ආක‍්‍රමනිකයන්ට එරෙහිව අභීතව සටන් වැදුන ඉතිහාසයක් හිමි ජනතාවක් අපේ රටේ ඉන්නවා.
අතීතයේ ඒ මහා සටන් වලින් ඉගෙන ගත් පාඩම් අපේ සම්, මස්, ලේ නහර ඇට මිදුළු සිඳගෙන ගිහින් ඒවායේ පතුලේත් තැන්පත් වෙලා තිබෙනවා. අපේ වීරෝධාර සෙබළුන් කුපිත නොවී විනය ගැරුකව වෙලාව එනතුරු ඉවසා ගෙන හිටියා.
වේදනා විඳවීම නිසා ඇතිවන අධිෂ්ඨානයේ තරම කොයිතරම් බලවත් ද කියලා දැප් අපට පෙනෙනවා. වසර තිහක් ලොකයේ දරුණුම, බලගතුම ත‍්‍රස්තවාදී හමුදාව වසර තුනක් ගත වෙන්නත් කළින් සපුරා පොඩි පට්ටම් කරළා ඉවරයි. තව දුරටත් ත‍්‍රස්තවාදීන් අනඟිභවනීය නෑ. අනඟිභවනීය එකයි. ඒ වීරෝධාර ඔබයි. අපගේ මාතෘ භූමියයි.
මේ ශේෂ්ඨතම විජයග‍්‍රහණය ලබා ගත්තේ අපේ ඉදිරිපිට සිටින වීරෝධාර තරුණ පරපුර නිසායි. ලංකාවේ සතර දිග් භාගයේ හැම ගමකින්ම තරුණ තරුණියෝ ලක්ෂ ගණනින් තම මාතෘ භූමිය නිදහස් කර ගන්නට, හමුදාවට බැඳුණා. සමහර මෑණිවරු පියවරු තමන්ට ඉන්න දරුවෝ සියළු දෙනාම ත‍්‍රිවිධ හමුදාවට පොලීසියට දන් දුන්නා. වැඩිමහල් දරුවා තම රට වෙනුවෙන් දිවි පුදා තියෙද්දීත්, තවත් දරුවන් හමුදාවට බැන්දුවා.
මිත‍්‍රවරුනි, මේ ජයග‍්‍රහණයේ රහස කුමක් ද කියලා කවුරුන් හෝ මගෙන් ඇසුවොත් මම අත දිගු කරලා පෙන්වන්නේ මේ දරුවන්ගේ අම්මලා, තාත්තලා, බිරින්දෑවරුන් ඇතුලත් අපේ සදාදරණීය ජනතාවටයි. අපේ මුළු මහත් ජාතියම ඒ උතුම් අම්මලා, තාත්තලාට, බිරින්දෑවරුන්ට සදා ණය ගැතියි. ඔවුන් තමාගේ දරුවන් ජාතිය වෙනුවෙන් පූජා කරලා අන් අයගේ දරුවන් ජීවත් කළා.
ජාතිවාදී ත‍්‍රස්තවාදීන් පරදවන්න නම් රටේ ජනතාව පරිනත විය යුතුමයි. දේශයේ වාසනාව කියන්නේ ජනතාවගේ පරිනතභාවයයි.
අපේ ආණ්ඩුව වාගේම මගේ රටේ ජනතාවත් සතුරා කව්ද කියන කාරණය හොඳින් අවබෝධ කර ගෙන හිටියා. සමහර අම්මලා පරම්පරාවෙන් තමන්ට ලැබුණ එකම තැල්ල හමුදාව වෙනුවෙන් පරිත්‍යාග කළා. එහෙම කරන අන්තිම උතුරේ ජනතාව අවතැන් වෙලා එනකොට බත් මුලක් උයාලා යවපු අම්මලා අපේ රටේ ඉන්නවා. තමන්ගේ දරුවා හමුදාවට දීලා, ඒ දරුවා සටන් කරන ප‍්‍රදේශවල ඉන්න ජනතාවට මානුෂික ආධාර යවපු ජනතාවක් කොහේද හිටියේ?
අපේ රණවිරුවෝ එක අතක තුවක්කුවක්, අනෙක් අතේ මානව හිමිකම් ප‍්‍රඥප්තියත්, හදවතේ දරු සෙනෙහසත් පුරවා ගෙන යුද්ධයට ගියා.
ජනතාව එක අතක තිබුණ දේ හමුදාවට පරිත්‍යාග කරළා අනෙක් අතින් අවතැන් වුණ ජනතාවට සළකන ගමන් හදවතින්ම යුද බිමේ හිටියා. සිවිල් ආරක්ෂක කමිටු හදා ගෙන ගම්, නගර, රථ වාහන පවා පරීක්ෂා කරලා රට පරෙස්සම් කර ගත්තා. අපි ත‍්‍රස්තවාදීන්ට එරෙහිව මෙහෙයවූවේ හමුදාව පමණක් නොවේ. අපි ත‍්‍රස්තවාදීන්ට එරෙහිව මෙහෙයවූයේ මේ රටේ ජනතාවයි.
මිත‍්‍රවරුවනි, මේ නිදහස ජනතාවට ලබා දෙන්න අපේ හමුදාවේ දරුවෝ කළ කැප කිරීම අසම සමයි. හිසට කාලතුවක්කු උණ්ඩ වැටෙද්දී පයට බිම් බෝම්බ පෑගෙද්දී ගුවන් යානා වලට පහර දෙන උණ්ඩ හදවතට එල්ල වෙද්දී තමන්ගේ සගයා මැරී වැටෙද්දී අපේ දරුවෝ ඉදිරියටම ගියා. විෂ වායු එල්ල කළත් ගමන නතර කරන්න බැරි වුණා. රජ කාළේ යුධ උපක‍්‍රම පාවිච්චි කළත් ආපස්සට හැරුණේ නෑ.
යෝධ පස් බැමි වැව් ඉවුරු මත අපේ දරුවෝ කී දෙනෙක් තම ජීවිතය පූජා කළා ද? වැහි පිට වැහි වැහැලා මහ ගංවතුරේ දින ගණන් ඉඳලා දෙපා වණ වෙද්දීත් ඉදිරියට ගියා.
අවසානයේ, භූමියේ වාසිය, කාළගුණයේ වාසිය, සහ ව්‍යාජ ප‍්‍රචාර වල වාසිය තිබුණේ ත‍්‍රස්තවාදීන්ගේ පැත්තේ. අපේ දරුවන්ට තිබුණේ චිත්ත ධෛර්යය සහ අසීමිත කැප කිරීම් විතරයි. ත‍්‍රස්තවාදීන් අහිංසක දෙමළ ජනතාව ප‍්‍රාණ ඇපකරුවන් හැටියට තියාගෙන, ඔවුන් මිනිස් පලිහක් ලෙස යොදා ගන්න අතරේ අති නවීන තුවක්කු වලින්, කාල තුවක්කු වලින් පහර දෙද්දී, අපේ වීරෝධාර සෙබළුන් සුළු අවි විතරක් පාවිච්චි කරළා, ජීවිත ලක්ෂ ගණනක් බේරා ගත්තා. මිත‍්‍රවරුනි, නියම සටන් කාමීත්වය එයයි.
ම්ලේච්ඡුකම වීරත්වය නොවේ. මනුෂ්‍යත්වයි වීරත්වය. මේ වීරත්වය ඇතිව සටන් මෙහෙයවපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මාණ්ඩලික හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාෂල් ඩොනල්ඞ් පෙරේරා, යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා, නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක, පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සරත් වීරසේකර වාගේම අවසානය දක්වා අභීතව සටන් මෙහෙවපු සේනාංක අධිපතිවරුන්ටත්, අණදෙන නිලධාරීන් ඇතුළු සියළු නිලධාරීන්ටත්, සියළුම තරාතිරමේ සෙබළුන්ටත්, මුළු මහත් ජාතියේම ගෞරවය පුද කරනවා.
ඒ වාගේම විසි හතර දහසකට ආසන්න වීරෝධාර දරුවෝ නිදහස වෙනුවෙන් සටන් කරලා මාගේ මාතෘ භූමියේ සදහටම සැතපෙනවා. ඒ වාගේම පන්දහසකට ආසන්න දරුවෝ පිරිසක් පූර්ණ ආබාධිත බවට පත්වෙලා ඉන්නවා. මම අද ඔසවපු අර පෙනෙන කොඩිය ලෙල දෙන්නේ අපේ වීරෝධාර රණවිරුවෝ අවසන් මොහොතේ හෙලපු සුසුම් පොද මුසුවෙලයි. ඒ නිසා අපි හුස්ම ගන්න හැම මොහොතකම ඒ වීරෝධාර දරුවන් සිහි කරන්න ඕනෑ. වාගේම ආබාධිත බවට පත් වෙලා අද රෝද පුටුවෙන් මේ පෙළපාළියට සහභාගි වුණ විරුවන්ගේ චිත්ත ධෛර්යයට මගේ ගෞරවය පුද කරනවා. මේ රණවිරුවන් කළ පරිත්‍යාගයන්ට විශිෂ්ඨ වටිනාකමක් ලැබිලා තිබෙනවා. ඒ කළ ශ්‍රේෂ්ඨ පරිත්‍යාගය අපතේ ගිහින් නෑ. ඔබගේ දෙපා අහිමි කර ගත්තේ දෙපයින් හිට ගන්න පුළුවන් මාතෘ භූමියක් ජාතියට ලබා දීලා. දෑත වගේම මස්, ලේ අහිමි වුණේ ලෝකයට සුන්දර සෞභාග්‍යක් දේශයක් ලබා දෙන්න. අපේ වගකීම ඒ ශ්‍රේෂ්ඨ පරිත්‍යාගයට උපහාරයක් වශයෙන් ශ්‍රේෂ්ඨ දේශයක් නිර්මාණය කර දෙන එකයි.
ඒ නිසා ඒ තරම් පරිත්‍යාගයක් කරලා දිනා දීපු රට දෙකඩ කරන්න ඉඩ දෙන්න හෝ බෙදුම්වාදයේ සෙවනැල්ලකටවත් අපේ රටේ ඉඩ නෑ. අපි දෙන විසඳුම්වල ජාතිවාදී බෙදුම්වාදයට, ඉඩක් තබා සේයා මාත‍්‍රයක්වත් තියෙන්න බෑ. අපි හැකි ඉක්මනින්, එකඩ කළ රට යළි දෙකඩ නොවෙන, කලාපයේ සාමයට හානියක් නොවෙන, පිළිගත හැකි අපේම වුණ වැඩපිළිවෙලකට යනවා.
මිත‍්‍රවරුනි, අපි ජාතියක් වශයෙන් නිදහස පරිපූර්ණත්වයට පත්කර ගන්න තව බොහෝ දුර යන්න ඕනෑ. ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් වූ අපට ලෝකය ලවා බලපෑම් කරවන්න ත‍්‍රස්තවාදීන්ට පුළුවන් වුණා. එහෙම වුණේ ත‍්‍රස්තවාදීන් ඒ ඒ රාජ්‍යයන්ට බලපෑම් කිරීමට තරම් බලවත් වුන නිසයි.
ඒ නිසා මගේ මාතෘ භූමියේ ආරක්ෂාවට විදේශ සබඳා වල නව යුගයක් ආරම්භ කළ යුතුව තිබෙනවා. මාතෘ භූමියේ නිදහස දිනාගත් අපි ඊළඟට ජාත්‍යන්තරය තුළ නිදහස ජය ගත යුතුව තිබෙනවා.
මේ නිදහස් සටනේදී ලෝකයේ බොහෝ රාජ්‍යන් අපට මිත‍්‍රත්වයේ හස්තය දිගුකලා ඒ අවංක මිතුරන් අපගේ ස්වාධීනත්වයට කළ යුතු ලොකුම යුතුකම මේ යුගයේ ඉටු කළා. ඒ සියලූ රටවලින් ලැබුණ සහාය අපි ඉතාම අගය කරනවා. ඔවුන් පිළිබඳව මතකය නිදහසේ සතුට බුක්ති විඳින මාගේ ජනතාව තම හදවතේ සදා රඳවා ගනීවි. ලෝකයටත් ධෛර්යයක් වුන අපි අපේ දෙපයින් නැඟී සිටින්න ඕනෑ. අදීන ජාතියක් ගොඩ නගන්න ඕනෑ.
අපිට තිබුණ ලොකුම අභියෝගයක් තමයි මායිම් ගම්මාන ලංකා සිතියමෙන් ඉවත් කිරීම, ඊළඟට තර්ජිත ගම්මාන ලංකා සිතියමෙන් ඉවත් කරන එක. ඒ අභියෝග ජයගත් අපිට දැන් ඉතිරිව තිබෙන්නේ දුෂ්කර ගම්මාන ලංකා සිතියමෙන් ඉවත් කිරීමයි.
මේ රටේ සිතියමෙන් දුෂ්කර ගම්මාන ඉවත් කරන කාර්යයට දැනටමත් අපි මුල පුරලා තියෙනවා. අයවැය හිඟය අවම කිරීම, ආර්ථික සංවර්ධනය, ආයෝජනය ඉහළ මට්ටමකට නැංවීම, ත‍්‍රස්තවාදය මර්ධණය වූ නිසා පය පැකිලෙන්නේ නැතිව ළඟා වෙන්න පුළුවන් ඉලක්ක බව මම දන්නවා.
මිත‍්‍රවරුනි, අපිත් පසුගිය වසර තුන තුළ ණය ආධාර ගත්තා. ඒත් ඒ ණය ආධාර ගත්තේ ජාතික සම්පත් විකුණලා නොවෙයි. අපි ගත්ත සියළුම ණය ආධාර වලින් ජාතික වත්කම් ගොඩනගලා තියෙනවා. ඒ වත්කම් තුළ විදුලි බලාගාර, වරායවල්, ගුවන් තොටුපළ, අධිවේගී මාර්ග තිබෙනවා.
පළමුව, අපි වසර තිහක් තිස්සේ උතුරේ ජනතාවට අහිමිව තිබුණ සියලූ පහසුකම් ලබා දිය යුතුව තිබෙනවා. එය වසර තිහක ත‍්‍රස්තවාදය වසර දෙකහමාරකදී නිමා කළා වගේ ලොව විශ්මයට පත් කරන සංවර්ධන මෙහෙයුමක් බවට සැකයක් නෑ. උතුරේ වසන්තය තියෙන්නේ උදාවෙන්න නොවෙයි, වේගයෙන් හමා යන්නයි.
අපි කොහේවත් තියෙන රටක කාබන් කොපියක් නොවෙයි. ලෝකයටත් පරාද කළ නොහැකි ත‍්‍රස්තවාදය පරාද කරන්න ආසියාවෙන් ධෛර්යය දුන්න අපේ රට ආසියාවේ ආඩම්බරය බවට පත්කර ගන්න ඕනෑ.
මිත‍්‍රවරුනි, සංවර්ධන කටයුතු කරන කොට නොයෙක් මතවාද, දෘෂ්ඨි වාද ඉදිරියට අරගෙන බාධා කරනවා. කල් මරනවා. මතවාද, දේශපාලන න්‍යායයන්, දෘෂ්ඨිවාද තිබිය යුත්තේ රට වෙනුවෙන්. එහෙම නැතුව දේශපාලන, දෘෂ්ඨි වාද න්‍යායයන් වෙනුවෙන් රට කැප කරන්න බෑ. මතවාද න්‍යායයන් වලින් එළියට ඇවිත් රට දිහා බලන්න, අරගලය නොවෙයි ඉදිරියට යා යුත්තේ රටයි.
මතක තියා ගන්න උසස් අධ්‍යාපනයේ ඉඳන්, විදුලිය ලබා දීමේ ඉඳන්, නාගරික සංවර්ධනය දක්වා බොහෝ දේ ජනප‍්‍රිය දේශපාලන තීන්දු මත ක‍්‍රියාත්මක කිරීම රටට කරන ද්‍රෝහි කමක්. නමුත් අපට නොරොච්චෝලේ, ඉහළ කොත්මලේ ඉදි කරන්න පුළුවන් වුනේ ජනප‍්‍රිය දේශපාලනයෙන් එළියට ගිහින් රට ගැන හිතපු නිසයි. අපි තීරණ ගත්තා. ඒවා ජනප‍්‍රිය ද පහසු ද කියන කාරණය නොවෙයි වැදගත්, නිවැරදි ද කියන එකයි වැදගත්. මේ රට මත් ද්‍රව්‍යයට වංචාවට ¥ෂණයට කුසීත කමට පාවා දෙන්න බෑ.
හාමුදුරුවනේ, මීට වසර තුනකට පෙරාතුව ශ‍්‍රී ලාංකිකයාගේ සිහිනයන් හැටියට බොහෝ දේ තිබුණා. ත‍්‍රස්තවාදීන්ට එක බිම් අඟලක් අයිති නොවෙන ආකාරයට ලොව ම්ලේච්ඡුතම ත‍්‍රස්තවාදී නායකයා ඇතුළු ත‍්‍රස්තවාදී නායකයින් සියලූ දෙනා විනාශ වී එකීය රාජ්‍යයක් බිහිවීම සිහිනයක් වෙලා තිබුණා. නමුත් අද ඒ සිහින යථාර්ථයක් බවට පත්වෙලා ඉවරයි. මේ රටේ සංවර්ධනය සම්බන්ධයෙනුත් මට කිව හැක්කේ එයයි. අපි ඉන්නේ සිහින යථාර්ථයක් බවට පත් කරන යුගයක.
මිත‍්‍රවරුනි, අපි මේ ජයග‍්‍රාහී යුගයේ අමතක නොකළ යුතු වැදගත් දෙයක් තිබෙනවා. ඒ අපේ ළමා පරපුර. දරුවෝ අපේ විජයග‍්‍රාහී ගමන දිහා ලොකු උනන්දුවකින් ආදරයකින් බලා සිටියා. තමන්ගේ පියවරු, සහෝදරවරු, සහෝදරියන් මව්බිම බේරා ගන්න යන වික‍්‍රමාන්විත ගමන දිහා රූපවාහිනී තිරවලින් බලලා මහා සතුටක් ලැබුවා. අප මාතෘ භූමිය නිදහස් කරගත් ආරංචිය සැලවුන ගමන්ම වැඩිපුරම සතුටු වුණේ ළමා පරපුර. ඊළඟට අපේ තරුණ පරපුර අත තමයි වැඩිපුරම සිංහ කොඩිය ළෙල දුන්නේ.
මගේ අදරණීය දුවේ ෟ පුතේ ෟ රටට ආදරය කරන ඔබ වැනි අනාගත පරපුරක් දෑසින් දකින්න ලැබීම ගැන ලෝකයේ ඉතාම ආඩම්භර වෙන රාජ්‍ය නායකයා මමයි. ඒ වාගේ පරපුරක ආඩම්බරකාර තාත්තා මමයි. මම ඔබට එදා කිව්වා අද අපිට තියෙන ප‍්‍රශ්න ඔබගේ අනාගතයට බාර දෙන්නෙ නෑ කියලා. දැන් අපි දුවලා පුතාලට මුහුණ දෙන්න ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නයක් මේ රටේ ඉතුරු කරලා නෑ.
ඒ නිසා ඔබගේ යුතුකම මේ එක්සේසත් කළ රට රැුක ගන්න ඇහැකි, ඥානයෙන්, ගුණයෙන්, ශක්තියෙන් පිරුණ රටට ආදරය කරන යෝධයෙක් වෙන එකයි. මම නැවතත් අවධාරණය කරනවා.
මම මේ රටේ හිමිකරුවා නොව මම මේ රටේ භාරකරුවා පමණයි. ඒ නිසා බිය සැකනැති මේ එක්සේසත් කළ රට ඔබට භාරයි.
ඔබ සැමට සුබ අනාගතයක්..!
තෙරුවන් සරණයි.

