Tuesday, June 9, 2009

කොටින්ගේ වත්කම් ජාලය ජගත් බුද්ධි අංශ විපරමට

කොටි සංවිධානයේ දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් කි‍්‍රයාත්මක වූ මුල්‍ය වත්කම්ජාලය සොයා ජාත්‍යන්තර බුද්ධි අංශ පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඒ සඳහා ජාත්‍යන්තර බුද්ධි අංශ මෙරට බුද්ධි අංශ සහ ඔත්තු සේවාවල සහායද ඉල්ලා ඇත.කොටි සංවිධානයේ නායකත්වය විනාශ කළත් එහි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක කේ.පී.හෙවත් පද්මනාදන් තව දුරටත් කොටි සංවිධානයේ මුල්‍ය කටයුතු මෙහෙයවන බවට ජාත්‍යන්තර බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇත.

ප‍්‍රධාන වශයෙන්ම ඔහු තවදුරටත් විදේශගතව සිටින ද්‍රවිඩ ජාතිකයන්ගෙන් කප්පම් එකතු කිරීමේ කටයුතු තදින්ම මෙහෙය වන බව පැවසේ.

කප්පම් ලබාදීම ප‍්‍රතික්ෂේප කරන ද්‍රවිඩයන්ට කේ.පී. කල්ලිය තර්ජන පවා එල්ල කර තිබේ. ඊට එරෙහි ද්‍රවිඩ ජාතිකයින් මේ පිළිබඳව ජාත්‍යන්තර ඔත්තු සේවාවලටත් බුද්ධි අංශවලටත් දැනුම් දී ඇත. රටවල් ගණනාවක සිදු කෙරෙන එම කප්පම් මුදල් කේ.පී. සමඟ සෙසු කොටි නියෝජිතයන්ගේ පෞද්ගලික පරිහරණයට යොදා ගන්නා ජාවාරමක් බව විදේශගත ද්‍රවිඩ ජාතිකයෝ ප‍්‍රකාශ කර ඇත.

මේ නිසා කොටි සංවිධානයේ මුල්‍ය ජාලය පිළිබඳ තොරතුරු හෙවත් ඔවුන්ගේ ගිණුම් සොයා ගැනීමට ජාත්‍යන්තර බුද්ධි අංශ පුළුල් මෙහෙයුමක් කරගෙන යන බව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් පැවසීය.