එල්ටීටීඊ සංවිධානය සමග පැවැති අවසන් සටනේදී පවා ඇතැම් අතරමැදියන් එම සංවිධානයේ නායකයින් ආරක්‍ෂා කර ගැනීමට මහත් වෑයමක් දැරූ බව හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ ඉන්දියාවේ එන්ඩීටීවී රූපවාහිනිය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
අවසන් සටනේ අවසන් රාත්‍රියේදී පවා කලපුව හරහා පැමිණ ආරක්‍ෂක හමුදාවට පහරදී පලා යාමට ප්‍රභාකරන්, නඩේසන්, පුලිදේවන් ඇතුළු පිරිස උත්සහ කළහ.
එහෙත් හමුදා ප්‍රහාර හමුවේ ඔවුන් මරුමුවට පත් බව හමුදාපතිවරයා කියා සිටියේය.
දේශපාලන අංශ ප්‍රධානී නඩේසන් භාරවීමට කැමති බව යම් අතරමැදියකු ආරක්‍ෂක ලේකම්වරයාට දුරකතනයෙන් දැනුම් දුන්න ද ඉන් විනාඩි 10කට පමණ පසු නඩේසන්ගේ මළ සිරුර යුද බිමේදී සොයාගත් බව ජෙනරාල්වරයා පැවසීය.
සටන් විරාමයක් ඇති කිරීම සඳහා අවසන් මොහොතේ ද ඇතැම් අතරමැදියන් උත්සාහ දැරුව ද ඉන් සිදුවිය හැකිව තිබුණේ සිවිල් වැසියන් ආරක්‍ෂා වීම නොව ත්‍රස්තවාදීන් ආරක්‍ෂා වීම බව ද හමුදාපතිවරයා අවධාරණය කළේය.

