Thursday, April 9, 2009

ජනාධිපතිතුමා ලිබියාවට ළඟා වේ


ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.10ට විශේෂ රාජ්‍ය නායකයන් සඳහා වෙන්වූ ලිබියාවේ සර්ටි ගුවන් තොටුපළට ළඟා විණි.
තෙදින නිල සංචාරයක් සඳහා ලිබියාව වෙත පැමිණි ජනාධිපතිතුමා ව ලිබියා රාජ්‍යය වෙනුවෙන් ලිබියා අගමැති ආචාර්ය අල් බඩාඩි අලි අල් මහමුදි සහ එරට විදේශ අමාත්‍ය මුසා මොහොමඩ් කොසා යන මහත්වරු විසින් හමුදා උත්තමාචාර සහිත ව රාජ්‍ය ගෞරව දක්වා පිළිගන්නා ලදී.
ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු රාජ්‍යතාන්ති‍්‍රක සංචාරයක් වෙනුවෙන් ලිබියාවට සැපත් වූ මුල් ම අවස්ථාවද මෙය වේ. ද්වීපාර්ශවීය වසයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ ව රාජ්‍ය නායකයන් අතර සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිත ය.
ශ‍්‍රී ලංකා ජනාධිපතිතුමාත් ලිබියානු රාජ්‍ය නායක කර්නල් මුහම්මර් ගඩාෆි මහතාත් අතර පැවැත්වෙන පළමු ද්විපාර්ශ්වීය සාකච්ඡාවන් ඊයේ (8) පස්වරුවේ පැවැත්වුණු අතර ලිබියානු රාජ්‍ය නායකයා විසින් පවත්වනු ලබන විශේෂ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයකට ද ඊයේ දිනයේදී ජනාධිපතිතුමා ඇතුළු ශ‍්‍රී ලංකා නියෝජිතයින් සහභාගි වී තිබේ.