Tuesday, April 7, 2009

"අවි බිම තබා යටත්වන්න" - ජනපති එල්ටීටීඊයට නියෝග කරයි

හමුදා ජයග්‍රහණවලට අවනතවී ආයුධ බිම තබා වහාම යටත් වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එල්.ටී.ටී.ඊයට නියෝග කළේය.
ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන පරිදි, අරලියගහ මන්දිරයේ ඊයේ පස්වරුවේ පැවැති විශේෂ හමුවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
රජය කිසි විටකත් දෙමළ ජනතාවට හානියක් වීමට ඉඩ නොදෙන අතර ඔවුන් ත්‍රස්තවාදයෙන් මුදාගැනීම සදහා රජය මානුෂීය මෙහෙයුම් ආරම්භ කල බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
දෙමළ තරුණයින් නොමග යවා ඔවුන් අතට ආයුද ලබාදී දෙමළ ජනතාව විනාශ කළ එල්.ටී.ටී.ඊ යේ අවසානය උදාවී ඇති බව ද මහින්ද රාජපක්‍ෂ මහතා පවසා ඇත.
ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, ත්‍රස්තවාදයෙන් රට මුදාගැනීම සදහා රජය ගෙන ගිය වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට එල්.ටී.ටී.ඊ හිතවාදී පිරිස් නොයෙක් අවස්ථාවලදී උත්සාහ කළ බවය.
එහෙත් එම අභියෝග ජයගනිමින් මනා ආත්ම ශක්තියකින් යුතුව කටයුතු කිරීමට රජයට හැකිවූයේ ජනතාවගේ සහයෝගය රජයට නොඅඩුව හිමිවූ නිසා බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.