Monday, December 21, 2009

LIVE CRICKET

Saturday, December 12, 2009

SHANKA & MAULIE WEDDING

Friday, September 25, 2009

ICC MINI WORLD CUP 2009

Tuesday, September 22, 2009

ICC MINI WORLD CUP 2009 LIVE





Thursday, July 9, 2009

ඩෙංගු රෝගීන් 15,529ක් වාර්තා වෙයි

මෙම වසරේ ජනවාරී 01වනදා සිට ඊයේ (08) වන විට ඩෙංගු රෝගීන් 15,529ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන එක්කය රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
ඩෙංගු මරණ 168ක් වාර්තා වී තිබෙන අතර කොළඹ, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල මේ වන විට ඩෙංගු උවදුර පවතින බවට වාර්තා වී තිබේ.

කැප්ටන් කොලරාඩෝ කොළඹට

උතුරේ අවතැන්වූ ජනතාව වෙනුවෙන් ආධාර රැගත් එම්.වී. කැප්ටන් කොලරාඩෝ නෞකාව මේ වන විට කොළඹ වරායට ළඟා වී ඇති බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජය රජයේ නිල පුවත් වෙබ් අ‍ඩවියට පැවසීය.
රුපියල් මිලියන 16.7ක වටිනාකමින් යුත් භාණ්ඩ මෙට්‍රික් ටොන් 650ක් සමඟ මෙම නෞකාව මෙරටට පැමිණ ඇත. මෙම භාණ්ඩ තොගය අතර සහල්, පිටි, කිරිපිටි ඇතුළු ආහාර ද්‍රව්‍ය මෙන්ම ඖෂධ වර්ග ද, ළදරු ආහාර ද අඩංගු වේ.
මෙම ද්‍රව්‍ය වව්නියාව සුබසාධන මධ්‍යස්ථානවල සිටින ජනතාව වෙත බෙදාහැරීමට අපේක්ෂා කෙරේ.
ඉන්දියානු රතු කුරුසයේ ආධාර රැගෙන මෙම නෞකාව පැමිණ ඇති බවත්,‍ කැප්ටන් අලි නෞකාවේ භාණ්ඩ මෙහි පවතින්නේ ද යන්න පිළිබඳව සනාථ කළ නොහැකි බවත් රතු කුරුසය අනාවරණය කළේය.

පී.බී.ගේ ඉල්ලීම සලකා බැලේ

මුදල් හා සැලසුම් ක්‍රියාත්මක කිරිමේ අමාත්‍යාංශයේ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් ධුරය යළි භාර ගැනීමට අවසර දෙන්නැයි ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා කළ ඉල්ලීම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. ඒ අනුව, අගවිනිසුරු අශෝක එන්. ද සිල්වා මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම ඉල්ලීම ලබන 14 වන දා සලකා බැලීමට නියමිතය.

13 ට වැඩි බලයක් දෙනබව, විශ්වාසයි -කරුණා

මෙරට ජනවාර්ගික ගැටලුව සඳහා ජනාධිපතිවරයා විසින් 13 වන ව්‍යවස්ථාවට එහා ගිය බලය බෙදීමක් ලබාදෙනු ඇතැයි, අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විශ්වාසය පළකරයි.
අද කොඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එක්සත් ජාතික පක්ෂය හා ද්‍රවිඩ සන්ධානය වව්නියාවේ අවතැන් කඳවුරු වලට ගොස් නොමැති බැවින්, ඔවුන් එහි යථා ස්වාභාවය නොදන්නා නිසා ඔවුන් කරන විවේචන ගණන් ගත නොහැකි බවයි.

සිසුන් ඇතූළත් කිරීමේදී අමතර මුදල් ගත්තා නම් වහා ගෙවන්න - අධ්‍යාපන ඇමති

පාසල්වලට සිසුන් ඇතුළු කිරීමේදී පහසුකම් හා සේවා ගාස්‌තු සහ පාසල් සංවර්ධන සමිති අරමුදලට අමතරව මුදල් අයකරගෙන තිබේ නම් ඒවා වහාම ආපසු ගෙවීමට විදුහල්පතිවරුන්ට නියම කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (08)දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.
ජ.වි.පෙ. කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා, කොළඹ ප්‍රධාන පෙළේ පාසල් දෙකක්‌ රුපියල් 5760ක්‌ හා රුපියල් 3600ක්‌ බැගින් පහසුකම් හා සේවා ගාස්‌තුවලට අමතරව විදුලි ගාස්‌තු, ආරක්‌ෂක ගාස්‌තු, ඇගයුම් ගාස්‌තු, පුස්‌තකාල ගාස්‌තු, පැවරුම් ගාස්‌තු ලෙසින් මුදල් අයකරගෙන ඇති බව පවසමින් අසන ලද ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කර සිටියේය.
මේ සඳහා අද (09)දින සියළුම විදුහල්පතිවරුන්ට නිල වශයෙන් දැනුම් දෙන බව කී ඇමතිවරයා චක‍්‍රලේඛයට පටහැනිව අතිරේක වශයෙන් මුදල් අයකරගෙන ඇති පාසල් විගණන පරීක්‌ෂණයකට යොමු කරන බවද, ප්‍රකාශ කර සිටියේය.

Monday, July 6, 2009

කාන්තා මලල කී‍‍්‍රඩා ශූරතාවලිය ජූලි18 සහ 19 දිනවල කොළඹ දී

2009 වාර්ෂික කාන්තා මලල කී‍‍්‍රඩා ශූරතාවලිය ජූලි 18 සහ 19 දිනවල කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ශ‍්‍රීලංකා මලල කී‍‍්‍රඩා සංගමය විසින් මෙම කී‍‍්‍රඩා ශූරතාවලිය මෙහෙයවනු ලබයි. මේ සඳහා අයදුම්පත් ලබන 14 වනදා දක්වා යොමු කළ හැකි අතර මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු අංක 33 ටොරින්ටන් මාවතල කොළඹ 07 යන ස්ථානයෙන් ලබා ගත හැකිය.

NGO හා UN වියදම් කිරීම ප්‍රමාදයි - ජනපති

වව්නි‍යාවේ අවතැන් කඳවුරුවල වැසිකිලි ප්‍රශ්නයක් තිබෙන්නේ රජයේ ප්‍රශ්නයක් නිසා නොවන බවත් රාජ්‍ය නොවන සංවිධාන හා එක්සත් ජාතීන්ගේ සංවිධානය විදේශ ආධාර වියදම් කිරීම ප්‍රමාද නිසා බවත් ජනාධිපතිවරයා කියයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා " හින්දු" පුවත් පතේ කර්තෘල එන්ගරාම් සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබෙන්නේල යුරෝපයෙන් හා වෙනත් රටවල් වලින් අවතැන් ජනයා වෙනුවෙන් ලැබී තිබෙන මුදල් රාජ්‍ය නොවන සංවිධාන හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට‍ ලැබී තිබුණත් ඒවා අවතැන් වූවන් සඳහා වියදම් කිරීම ඉතාමත් මන්දගාමීව සිදුවන බවයි. රජය රුපියල් බිලියන දෙකක පමණ මුදල් වියදම් කර මෙම අවතැන් කඳවුරු වලට ජලයල විදුලියල ඇතුළු පහසුකම් ලබාදී තිබෙන බවත් ලෝකයේ ඕනෑම රටක පවතින අවතැන් කඳවුරු වලට සාපේක්ෂව ලංකාවේ කඳවුරු ඉතාමත් හොඳ මට්ටමක පවතින බවත් මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත. තමා නිළධාරීන්ගේ තොරතුරු ගැන පමණක් විශ්වාසය නොතබන බව පවසා තිබෙන ජනාධිපතිවරයා වව්නියාවේ අවතැන් කඳවුරුවල තොරතුරු සොයා බැලීමට තමාගේ හිතවතුන් පිරිසක්ද එහි යැවූ බවත් එම අවතැන් කඳවුරුවල දින කිහිපයක් ගතකර තමාට ඔවුන් තොරතුරු දැන්වූ බවත් පවසා තිබේ.

මෙම කඳවුරුවල තවත් ප්‍රශ්න තිබෙන බව තමා දන්නා බව සඳහන් කර තිබෙන ජනාධිපතිවරයා කියා තිබෙන්නේ ඒවාද විසඳා ගැනීමට කටයුතු කරන බවයි.

දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කිරීමේ සූදානමක්

මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට දැනට වසා ඇති මාර්ගය ඉදිරි කාලයේ දී සැහැල්ලු වාහන සහ ජනතාවගේ ගමනා ගමනය සඳහා යළි විවෘත කිරීමේ සැළැස්මක් පවතින බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.දැනට වසා ඇති මෙම මාර්ගය හේතුවෙන් මගී ජනතාවට මහත් දුෂ්කරතාවන් මතුව තිබේ.
අමාත්‍යවරයා සඳහන් කර සිටියේ දළදා මාලිගා ගොඩනැගිල්ල ජාතික වස්තුවක් වන බැවිනුත්, මාලිගාවට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයත්, මාලිගාව කබෝග් ගලෙන් නිර්මාණය වීම නිසා එහි පවතින තතත්වයත් සැලකිල්ලට ගෙන අදාළ මාර්ගය වසා දැමුණු බවයි. නමුත් ඉදිරියේ දී බරවාහන ගමනා ගමනය සහ තවත් සීමා සහිත නීති කිහිපයක් සමගින් මෙම මාර්ගය යළි ජනතාව වෙනුවෙන් විවෘත කිරීමේ අදහසක් බවතින බව රඹුක්වැල්ල මහතා සඳහන් කරයි. එමෙන්ම ඇමතිවරයා පැවසුවේ වසර 2010 මහනුවර අධිවේගී සංවර්ධන වැඩපිළිවෙල යටතේ දිස්ත්‍රික්කයේ සංවර්ධන ක්‍රියාදාමයන් රැසක් ක්‍රියාවට නැංවීමට ද නියමිත බවයි. එම වැඩපිළිවෙලට අනුව දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින මාලිගාව ප‍්‍රදේශය පූජනීය ප‍්‍රදේශයක් බවට පත් කිරීම සිදුකෙරේ. මේ අනුව ප‍්‍රදේශයේ පරිසරය සුරැකීම හා වාහන තදබදය අඩු කිරීමට ප‍්‍රමුඛත්වය දෙයි. ඒ සඳහා මුළු නගරයේ ප‍්‍රධාන ගොඩනැගිලි සියල්ලම පල්ලෙකැලේ හා කුණ්ඩසාලේ ප‍්‍රදේශවලට ගෙනයාමට සැලැසුම් කර තිබේ.

මහා සංවර්ධනයක් වෙමින් පතින බව යෂුෂි අකාෂි පවසයි

දශක තුනකට වැඩි කාලයක් ත‍්‍රස්තවාදයෙන් හා වෙනත් අභියෝගයන් ගෙන් පීඩා විඳි ශ‍්‍රී ලංකාව මෑතදී ඉතා කෙටි කාලයක දී ලබා ඇති මහා පරිමාණ සංවර්ධනය පිළිබඳව තමා පුදුමයට පත් වන්නේ යැයි ජපානයේ විශේෂ නියෝජිත යෂුෂි අකාෂි මහතා පවසයි.

දහසකුත් ප‍්‍රශ්න මැද උතුරේ සහන ගම්මානවල ජීවත්වන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට අවශ්‍ය නවාතැන්, ජලය, ආහාර යනාදිය ලබා දෙමින් ඔවුන්ගේ ජීවිත නැවත ගොඩ නැඟීමට ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ සියැසින් දැක බලාගත් බවත්, තමා ඒ පිළිබඳව බෙහෙවින් සතුටට පත්වන බවත් හෙතෙම සඳහන් කෙළේ ය.

අකාෂි මහතා මේ අදහස් පළ කෙළේ ශ‍්‍රී ලංකා වානිජ මණ්ඩලය විසින් ඉකුත් දා පවත්වන ලද 2009 ආර්ථික සමුළුවට සහභාගි වෙමිනි. මේ අවස්ථාවට අගමැති රත්නසිරි වික‍්‍රමනායක, ඇමැති ජී.එල්. පීරිස් යන මහත්වරු ද ආර්ථික විශේෂඥයින් ද, ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් ද එක්ව සිටියහ.

Saturday, July 4, 2009

රැකියා විරහිතබවට පිළියම් නොකළොත් එය මානුෂීය අර්බුදයක් වනු ඇත - කම්කරු ඇමති

රැකියා විරහිතභාවය අර්බුදයක් බවට පත්වෙමින් ඇති බැවින් බහුපාර්ශවීයව, ද්විපාර්ශවීයව සහ ජාතික වශයෙන් එක්ව ඒ සඳහා ක්‍රියාමාර්ගයක් නොගතහොත් ලොව පුරා එය මානුෂීය අර්බුදයක් බවට පත්වනු ඇතැයි කම්කරු සබඳතා හා මිනිස්බල අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා පෙන්වා දෙයි.

Friday, July 3, 2009

කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිටත් මරණ තර්ජන

කම්කරු ඇමැති සහ කැලණිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක මර්වින් සිල්වා මහතා තම ජීවිත වලට තර්ජනයක් වී ඇතැයි කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න රණවීර මහතා ඇතුළු පොදු පෙරමුණේ මන්ත‍්‍රීවරු වන ලංකා විජිත කුමාර, නන්දසිරි හේවගේ, එච්.ජේ. සෝමවර්ධන සහ චතුර ධනුෂ්ක යන මහත්වරු පැලියගොඩ පොලිසියට පැමිණ පැමිණිලි කර ඇත.
මතු ආරක්‍ෂාව සදහා මේ පැමිණිලි කළ බවද ඔවුහු පොලිසියට ප්‍රකාශ කර ඇත.
"ප‍්‍රාදේශීය සභාවේ සභාපතිගේ ක‍්‍රියා කලාපයට මා කිහිප වරක්ම විරුද්ධත්වය පළ කළා,ඔහු වැනි අය මාගේ ආසනයේ ඉන්න බැහැ. පොලිසියට පැමිණිලි කළා නම් පොලිසිය විභාග කරාවි" යනුවෙන් කම්කරු ඇමැති මර්වින් සිල්වා කියා ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි

වසංගතයක් බවට පත්ව ඇති ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී. මේ වන විට දිවයින පුරා පුද්ගලයන් 5357 දෙනෙකුට රෝගය වැළඳී ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. මෙම රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර (රෝගීන් 2071, මියගිය ගණන 26), කොළඹ (රෝගීන් 1996, මියගිය ගණන 18), කෑගල්ල (රෝගීන් 1977, මියගිය ගණන 18), ගම්පහ (රෝගීන් 1719, මියගිය ගණන 31), කුරුණෑගල (රෝගීන් 1235, මියගිය ගණන 10) යන දිස්ත්‍රික්කයන්ගෙනි.
ඩෙංගු මදුරුවන්ගේ අභිජනන කටයුතු පිරිසිදු ජලයේ සිදුවන අතර මෙම ප්‍රදේශවලට වරින් වර වැසි සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවීම ‍මීට හේතු වී ඇත.
එබැවින් රෝග ලක්ෂණ මතුවූ වහාම රජයේ රෝහලකින් හෝ ලියාපදිංචි රජයේ වෛද්‍යවරයෙකුගෙන් පමණක් ඒ සඳහා ප්‍රතිකාර ලබාගන්නා මෙන් අමාත්‍යාංශය මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටී.
මීට අමතරව ඩෙංගු රෝගය මර්දනය කිරීමේ අරමුණින් කියුබාවෙන් මෙරටට BTI නම් බැක්ටීරියාවක් ගෙන්වීමට ද තීරණය කර ඇති අතර කඩිනමින් එය මෙරටට ගෙන ඒමට පියවර ගන්නා බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

සිඳී බිඳී ගිය සිත් සැනසීමට මානුෂික මෙහෙවර ඇරැඹුවා



මානුෂීය මෙහෙයුම නිම කොට මානුෂික මෙහෙවර දැන් අරඹා ඇති බැවින් නොහොඳ නෝක්කාඩු අතීතයට බාරදී රටේ සංවර්ධනයට එක් වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන පක්ෂ 18ක නියෝජිතවරුන්ගෙන් ඊයේ (2) ඉල්ලා සිටියේය. හොඳ හිත පමණක් අනාගතයට ගෙන යමින් බිඳීගිය සිත් යළි සැනසීමට ප‍්‍රතිසංධානය සහ සංවර්ධනය උදෙසා කටයුතු කළ යුතු බවද ජනපතිවරයා කියා සිටියේය.ප‍්‍රතිසංධානය සහ සංවර්ධනය පිළිබඳ සර්ව පාක්ෂික සමුළුවේ මංගල සැසිවාරය ආරම්භ කරමින් ජනපතිවරයා මේ අදහස් දැක්වීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එය පැවැත්විණි. මේ සර්ව පාක්ෂික සමුළුවට පක්ෂ 18 ක නියෝජිතයන් සහභාගී වූහ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය , එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, මහජන එස්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ජාතික හෙළ උරුමය , ලංකා සමසමාජ පක්ෂය, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය , ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා කම්කරු කොංග‍්‍රසය , දෙමළ ජාතික සන්ධානය , ජාතික සමඟි පෙරමුණ, ජාතික කොංග‍්‍රසය , ඊළාම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය, තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් , ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ , සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසය , එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කණ්ඩායමට අයත් නායකයෝ මේ මංගල සැසියට එක් වූහ.

ජනාධිපතිවරයාගේ ආරාධනා ලැබූ දේශපාලන පක්ෂ නායකයන් සියලු දෙනාම පාහේ මේ අවස්ථාවට එක්වීම විශේෂත්වයකි.

මේ නායකයන් ඇමතූ ජනාධිපතිවරයා, අප අතර වෙනස්කම් නොව සමාන කම් පිළිබඳව සිත යොමු කරමින් මේ වැඩපිළිවෙළ කි‍්‍රයාවට නැංවිය යුතු බව ප‍්‍රකාශ කළේය.

මෙය එක් රජයක හෝ පක්ෂයක වගකීමක් නොව සියලුදෙනාගේම වගකීමක් බව සිහියේ තබාගෙන කටයුතු කළ යුතු බවද පක්ෂ නායකයෝ ඇමතූ ජනාධිපතිවරයා කීවේය.

රටේ අනාගතය වෙනුවෙන් කි‍්‍රයාත්මක කෙරෙන වැඩපිළිවෙළකට සියලු ජාතීන් නියෝජනය කරන සියලු පක්ෂවල අදහස් විමසීම පිළිබඳව ප‍්‍රසාදය පළ කළ පක්ෂ නායකයෝ ඒ සඳහා උපරිම සහයෝගය ලබාදෙන බවට ප‍්‍රතිඥා දුන්හ.

අවතැන් වූ ජනතාව නැවත පදිංචි කොට හැකි ඉක්මනින් සංවර්ධන කටයුතු නිමා කිරීම සියලු දෙනාගේ වගකීම බව සිහිපත් කළ ජනාධිපතිවරයා තැලුණු සිත් යළි සුවපත් කිරීමට එමඟින් හැකි වෙතැයි තමා දැඩි ලෙස විශ්වාස කරන බවත් සඳහන් කෙළේ ය.

අද ආරම්භය සනිටුහන් කෙරුණු මේ වැඩපිළිවෙළ හැකි ඉක්මනින් ප‍්‍රායෝගික කි‍්‍රයාමාර්ගයක් බවට පත් කළ යුතු යැයි පැවැසූ ජනාධිපතිවරයා මේ පිළිබඳව සකසන මූලික ව්‍යුහය දේශපාලන පක්ෂ අතරේ සාකච්ඡා කොට කඩිනමින් යථාර්ථයක් බවට පත් කළ යුතු බවත් කීවේය.

ජාතිවාදයක් පිළිබඳව කථා කෙරුණත් අප ජාතිවාදය අත හැර බොහෝ කලක් ගත වී ඇති බව පැවසූ ජනාධිපතිවරයා ජාතිවාදය අතහැර දමා රටට ආදරය කරන මිනිසුන් ගොඩනැංවිය යුතු බවත් පැවැසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප‍්‍රකාශ කෙළේ ය. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ වලට ආරාධනා කොට ආරම්භ කිරීමට බලාපොරොත්තු වුණේ ප‍්‍රතිසංධානය හා සංවර්ධනය පිළිබඳ සර්ව පාක්ෂික හමුවක් ඇති කොට මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමටයි.

පසුගිය ජනාධිපතිවරණ සමය වනවිට ත‍්‍රස්තවාදය නිසා මානුෂීය මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් අහිමි වූ ජනතාවක් මේ රටේ සිටියා.

ලෝකයේ ප‍්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ විශාලතම මානුෂීය මෙහෙයුම මගින් ඒ ජනතාව බේරාගෙන දැන් ඇත්තේ ඒ බිඳුණු සිත් සැනසීමේ කාර්යයි. ඒක එක රජයක, පක්ෂයක වගකීමක් නොවෙයි.

ඒ නිසා මේ කමිටුවේ බලාපොරොත්තුව ප‍්‍රතිසංධානය හා සංවර්ධනය බව මා දන්වා සිටිනවා. අප එකමුතුව මේ බිඳී ගිය සිත් එකතු කොට මේ ප‍්‍රශ්නය විසඳ්‍ර ගත යුතුයි.

අද උතුරේ කඳවුරුවල අවතැන් වූ 290000 ක ජනතාවක් ඉන්නවා. ඒ අය නැවත පදිංචි කිරීමට කළ යුතු දේ පිළිබඳවත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

අප සියලු දෙනාගේ වගකීම මේ ජනතාව නැවත පදිංචි කිරීමයි. දැනටමත් අපි නැවත පදිංචි කිරීමේ කටයුතු අරඹා තිබෙනවා. පුද්ගලයන් 2409 ක් පවුල් 651 ක් අපි නැවත පදිංචි කළා.

බිම් බෝම්බ ඉවත් නොකොට නැවත පදිංචි කිරීම් කරන්න බැහැ. ඒ වගේම බිම් බෝම්බ ඉවත් කළ පසු නැවත පදිංචි කිරීමට පෙර සහතිකයක් ලබා ගත යුතුයි.

ඒ වගේම අප අමතක නොකළ යුතුයි මොවුන් මේ කඳවුරුවලට ඇවිත් තාම මාස දෙකක්වත් ගත නොවුණු බව. මේ කාලයේ ලක්ෂ තුනක ජනතාවක් මේ කඳවුරුවලට ආවා.

මේ අයගේ මූලික පහසුකම් ලබා දීමටත් අපි පියවර ගත යුතුයි. අපට කිසි කෙනෙක් කඳවුරුවල රඳවා ගැනීමට අවශ්‍ය නැහැ. ජනතාව නැවත පදිංචි කිරීමේ දී ජලය, විදුලිය, මාර්ග යනාදී යටිතල පහසුකම් පිළිබඳවත් සිතන්න ඕනෑ.

ඒ සඳහා අපි දින 180 වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරනවා. ඒ වැඩපිළිවෙළ සාකච්ඡා කරමින් ඉදිරියට යන්න අපට පුළුවනි.

අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතාද මේ අවස්ථාවට එක් වූ අතර ජාතික හෙළ උරුමයේ එල්ලාවල මේධානන්ද හිමියන් හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජාතික පක්ෂයේ කබීර් හෂීම්, ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක, ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ, ලංකා සමසමාජ පක්ෂයේ විමලසිරි ද මැල්, ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඇමැති ඩිව් ගුණසේකර, ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ රාවුෆ් හකීම්, දෙමළ ජාතික සන්ධානයේ එන්. ශී‍්‍ර කාන්තා, ලංකා කම්කරු කොංග‍්‍රසයේ ඇමැති ආරුමුගම් තොණ්ඩමන්, ජාතික කොංග‍්‍රසයේ ඒ. එල්. එම්. අතාවුල්ලා, ජාතික සමඟි පෙරමුණේ ඇමැති ෆේරියල් අශ්රොෆ්, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ වී. ආනන්ද සංගරී, කඳුරට ජනතා පෙරමුණේ පී. චන්ද්‍රසේකරන්, ටී. එම්. වී. පී යේ මහ ඇමැති සිවනේස තුරෙයි චන්ද්‍රකාන්තන්, ඊළාම් ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ, ඇමැති ඩග්ලස් දේවානන්දා යන මහත්වරු ද මෙහි දී අදහස් දැක්වූහ.

අතීතය අමතක කර අනාගතයට රැස් වේ.

අතීත ප්‍රශ්ණ අමතක කර අනාගතය වෙනුවෙන් රට ගොඩනැංවිමේ වැදගත්කම අද අවසන් වු පළමු සංවර්ධනය සහ ප‍්‍රතිසන්ධාන කටයුතු පිළිබඳ සර්ව පාක්ෂික සමුළුවේ දි සියලුම පක්ෂ අවධාරණය කල බව රජය පවසයි. දෙමළ ජාතික සන්ධානය එස්ගශ්‍රී කාන්ත මන්ත්‍රී වරයාගේ නායකත්වය යටතේදලඑක්සත් ජාතික පක්ෂය කබීර් හෂීමි මන්ත්‍රී වරයා විසින්ද ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ගේ මුළිකත්වයෙන්ද මෙම සමුළුවට සහභාගි වුහ.

සංචාරක අමාත්‍ය ලෙස නන්දන ගුණතිලක සංස්කෘතික කටයුතු කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පියසිරි විජේනායක දිවුරුම් දෙයි.

ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ති‍්‍රක් මන්ති‍්‍ර නන්දන ගුණතිලක මහතා සංචාරක කටයුතු අමාත්‍යවරයා ලෙසත්, ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ති‍්‍රක් මන්ති‍්‍ර පියසිරි විජේනායක මහතා සංස්කෘතික කටයුතු කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසත් අද (02) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාද එක් ව සිටියේය.

සියලු රටවල් ලංකාවේ ආයෝජනයට කැමතියි - ඇමති අනුර යාපා

ලොව සියලු රටවල් මෙරට ආයෝජනය කිරීම සඳහා කැමැත්තෙන් පසුවන බව තොරතුරු හා ජනමාධ්‍ය සහ ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
මේ අනුව ඉදිරියේදී මීරිගම ප්‍රදේශයේ නව ආයෝජන ප්‍රවර්ධන කලාපයක් ඇති කිරීමට නියමිතය. මීට අමතරව චීන ආයෝජකයන් 29 දෙනෙකු ඉදිරියේදී මෙරටට පැමිණීමට අපේක්ෂා කරන අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගියදා නිරතවූ සිංගප්පූරු සංචාරයේදී සිංගප්පූරු හා තායිලන්ත අයෝජකයන් පිරිසක් ද හමුවූ බවත්, ඔවුන් ද මෙරට ආයෝජන සිදුකිරීමට කැමැත්ත පළ කළ බවත් එම සංචාරය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසීය.

Thursday, July 2, 2009

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායක ධූර පිරිනැමේ

රජයට එක්වූ තවත් පිරිසකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායක ධූර පිරිනැමීම ඊයේ පෙරවරුවේදී සිදුවිය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී මෙම සංවිධායක ධූර පිරිනැමීම සිදුවිය.මෙහිදී රජයේ අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන මහතාට හෝමාගම ආසනයද, පී. දයාරත්න මහතාට අම්පාර දිස්ත‍්‍රික්කයේ ආසනයක් ද, අතාවුද සෙනෙවිරත්න මහතා මාවනැල්ල, හේමකුමාර නානායක්කාර මහතා බද්දේගම, ගාමිණී ලොකුගේ මහතාට කැස්බෑව ආසනයද, මනෝ විජයරත්න මහතාට දැදිගම ආසනය ද, පී දයාරත්න මහතා දිගාමඩුල්ල ආසනයද ලෙසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූර පිරිනමා ඇත. දැනට මෙම ආසනවල සිටින ශ්‍රී.ල.නි.ප. සංවිධායකයින් සඳහා දිස්ත‍්‍රික් සංවිධායක ධුර පිරිනමා ඇත.

‘කාර්යාල සේවය පිණිසයි’ බස් සේවාව අද සිට

‘කාර්යාල සේවය පිණිසයි’ යනුවෙන් රාජ්‍ය සේවකයින් සඳහා නව ප්‍රවාහන සේවයක් අද (01) ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 4.00ට ආරම්භ කෙරෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය සරත් අමුණුගම සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම ‍අවස්තාවට සහභාගි වීමට නියමිතය.

ඉන්ධන මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ නැංවේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළ පරිදි ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ යනු ඇත. ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ යයි. ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ යන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. භූමිතෙල් ලීටරයක මිල ඉහළ නැංවෙන්නේ රුපියලකිනි.

Tuesday, June 30, 2009

රට පාවාදීමට කිසිවෙකුටත් ඉඩදෙන්නේ නෑ - ජනාධිපති

රණවිරුවන් සමඟ එක්ව දිනාගත් රට සහ ශ්‍රී ලාංකික ජාතිය යළි පාවාදීමට කිසිවෙකුටත් ඉඩනොදෙන බවත්, 'මහින්ද චින්තනය' නම් ජනතා ප්‍රකාශය තුළින් ලබාදුන් සියලු පොරොන්දු ඉටුකිරීමට දිවිහිමියෙන් කැපවන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
අද (30) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායක සහ දිස්ත්‍රික් සංවිධායක ධුර පිරිනැමූ අවස්ථාවේදී එතුමා මේ බව සඳහන් කළේය.මෙහිදී ආසන 12ක් සඳහා නව සංවිධායකවරුන් ද, නව දිස්ත්‍රික් සංවිධායකවරුන් 11 දෙනෙකු ද පත්කෙරිණි.මෙහිදී ජනාධිපතිතුමා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැමදා තීන්දු ගත්තේ රට සහ ජාතිය පෙරටු කොටගෙන බවයි. දේශපාලන බලයේ රැඳීසිටීමේ අරමුණින් කිසිදා තම පක්ෂය තීරණ නොගත් බව පෙන්වා දුන් එතුමා රට වෙනුවෙන් ගතයුතු තීරණ නියම කාලය තුළ ගැනීමට කිසිසේත් පසුබට නොවන බව ප්‍රකාශ කළේය.පසුගිය කාලය තුළ කණ්ඩායමක් වශයෙන් එක්ව ත්‍රස්තවාදයෙන් රට නිදහස් කරගැනීමේ අභියෝගය ජයගැනීමට හැකිවූ බවත්, ඉදිරියේදී සංවර්ධන අභියෝගය ජය ගැනීමට සියලු දෙනා එක්ව පොදු අරමුණක් යටතේ කටයුතු කිරීමේ අවශ්‍යතාවත් එතුමා පෙන්වා දුන්නේය.

ඩෙංගු මරණ තවත් ඉහළට

ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 156 දක්වා ඉහළ ගොස් ඇති අතර දැනට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 13,489ක් බව රෝහල් වාර්තා අනාවරණය කරයි.කොළඹ,ගම්පහ,කෑගල්ල,කුරුණෑගල සහ මහනුවර යන දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් රොගීන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.මේ වන විට ඩෙංගු රෝග මර්දන වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂාවට ලක්කරමින් වැටලීම් සිදුකිරීමට ද පියවර ගෙන ඇත.මීට අමතරව ඩෙංගු රෝගය මර්දනය කිරීමේ අරමුණින් කියුබාවෙන් මෙරටට බැක්ටීරියාවක් (BTI) ගෙන්වීමට ද තීරණය කර ඇති අතර මෙය හැකි ඉක්මනින් මෙරටට ගෙන්වීමට අපේක්ෂා කෙරේ.

ලාෆ්ස් 100 කින් නගී, ෂෙල් 53 කින් බහී

ලාෆ්ස් ගෑස්මිල ඉහළ දැමීමටත් ෂෙල් ගෑස්මිල පහළ දැමීමටත් තීරණය කර තිබෙන බවල පාරිභෝගික ආරක්ෂක අධිකාරිය පවසයි.මේ අනුවල අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්රෑම් 12ග5 ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් ඉහළ දමා තිබෙන අතර කිලෝ ග්රෑම් 12ග5 ක ෂෙල් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 53 කින් පහළ දමා තිබේ.ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1407 ක් වන අතර ෂෙල් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1447 කි.

Monday, June 29, 2009

බොන් සහ ෆ්‍රැන්ක්ෆර්ට් නගරවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් ජනපතිට සහ රනවිරුවන්ට උපහාර

කොටි ත‍්‍රස්තවාදයෙන් රට මුදවාගත් අති ගරු ජනාධිපති තුමන්ට,ආරක්ෂක ලේකම් තුමා ඇතුලු ත්‍රිවිද හමුදාවට,පොලීසියට සහ සිවිල් කාර්ය්‍ය බළකායට උපහාර දැක්වීමේ උත්සවයක් පසුගියදා ෆ්‍රැන්ක්ෆර්ට් නුවර, ජර්මණියේ ශ්‍රී ලංකා කොන්සුල් ජනරාල් ගරු බුද්දි ආතාවුද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවත්වුනි. අති ගරු ජනාධිපතිතුමන්ට සහ රණවිරුවනට සෙත්පතා ආගමික වතාවන්, උපහාර ගී හා උපහාර දේශන පැවත්වූ අතර ජනාධිපති තුමන්ට උපහාර පිණිස “ආයුබෝවේවා” යන ගීතය බොන් නගරයේ අනලි අතුරුගිරිය මෙනවිය විසින් ඉතා අලංකාර අන්දමින් ගායනා කරනු ලැබීය. බොන් සහ ෆ්‍රැන්ක්ෆර්ට් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා මගින් මෙය සංවිධානය කරන ලදී.

නොමිනිසුන්ට නීතියේ ඉහළම දඬුවම ලබාදීමට එල්ලුමගස යළි ක්‍රියාත්මක කළ යුතුයි - ඇමතිනී පවිත්‍රා

පාපතර සාහසිකයෙකුගෙන් ඝාතයට ලක් වූ එල්ලාවල පිටකන්දේ පියුමි ජයසිංහ‍ දැරියගේ අවසන් කටයුතු පසුගිය 26 දා පිටකන්ද ගම්මානයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට සහභාගි වූ තරුණ කටයුතු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සිටියේ, මෙවන් අපරාධයක් සිදුකළ නොමිනිසාට නීතියෙන් ලබාදිය යුතු ඉහළම දඬුවම ලබාදිය යුතු බවයි. එසේම මෙවැනි කුරිරු අපරාධකරුවන්ට නීතියෙන් හා සොබාදහමින් දඬුවම් ලැබීම නොවැළැක්විය හැකි බවත් එතුමිය සඳහන් කළාය. තවද මෙවැනි මිනීමරු නොමිනිසුන්ට නීතියේ ඉහළම දඬුවම ලබාදීමට එල්ලුමගස නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ජනපතිතුමාගෙන් ඉල්ලා සිටි බවත් එල්ලුම්ගස ක්‍රියාත්මක කළ යුතු කාලය උදාවී ඇති බවත් වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ඩෙංගු වැලදුණු තව දැරියක් මිය යයි

ඩෙංගු රෝගය වැළදීමෙන් තවත් දැරියක් ජීවිතක්‍ෂයට පත්වී ඇත. මොරටුව එගොඩ උයන මෝදර ප‍්‍රදේශයේ පදිංචි ෆාතිමා නලීම් (11) දැරිය කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත. ඩෙංගු වැළඳීමෙන් මියගිය දැරිය මොරටුව එගොඩ උයන අර්හාත් මුස්ලිම් මහවිදුහලේ 6වැනි වසරේ ඉගෙනුම ලබමින් සිට ඇත. මෙම පාසලේ තවත් දිරියන් සිවුදෙනෙක් ද ඩෙංගු රෝගය වැළඳී ප‍්‍රතිකාර ගනිමින් සිටිති.

ශ‍්‍රී බෝධිරාජාරාමයේ විහාරාධිපති ගලගම සෝමාලංකාර හිමියන්ට දොස්තර පිහියෙන් ඇනලා

වෛද්‍යවරයකු පිහියකින් ඇනීම නිසා තුවාල ලැබූ හිමි නමක් රත්නපුර මහ රෝහලට ඇතුළු කර තිබේ.පිහිඇනීමෙන් තුවාල ලබාඇත්තේ ඉහළ ගලගම ශ‍්‍රී බෝධිරාජාරාමයේ විහාරාධිපති ගලගම සෝමාලංකාර හිමියන් ය. සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ බෙලිහුල්ඔය පඹහින්න රෝහලේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලීසිය කියයි.සාමනේර හිමිනමකට ප‍්‍රතිකාර ලබාගැනීමට රෝහලට ගිය අවස්ථාවේ දී වෛද්‍යවරයා තමන්ට පිහියකින් ඇන්න බව විහාරාධිපති සෝමාලංකාර හිමි පොලීසියට පවසා තිබේ.

ත‍්‍රස්තවාදය අවසන්කර ඇති නිසා රට නංවන්න සැවොම එක්වෙමු


මවුබිම ත‍්‍රස්තවාදයෙන් මුදාගෙන මාසයක් ගතවීම නිමිත්තෙන්ල බි‍්‍රතාන්‍යයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයෝ එක්වී සාම පා ගමනක් පැවැත්වූහ.ශ‍්‍රී ලාංකිකයන් ලෙස ජාතික සමඟිය ගොඩනැගීමල එල්ගටීගටීගඊග සංවිධානයේ ත‍්‍රස්ත කි‍්‍රයා නතර කිරීමට බලපෑම් කිරීම අරමුදල් රැස්කිරීම වැළැක්වීම හා එල්ටීටීඊයට උදව් කරන බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් දැනුවත් කිරීම සාම පා ගමනේ අරමුණ බව සංවිධායකයෝ පැවැසූහ.ත‍්‍රස්තවාදීන්ගෙන් රට මුදාගෙන තිබෙන මේ අවස්ථාවේ ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් මවුබිම සංවර්ධනය කිරීමට හැකි සෑම අයුරින්ම උදව් කිරීමට ශ‍්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමට බි‍්‍රතාන්‍යයේ ත‍්‍රස්ත විරෝධී ශ‍්‍රී ලාංකිකයන්ගේ එකමුතුව හා බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් නිහාල් ජයසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සහයෝගයද ඇතිව මේ පාගමන සංවිධානය කර තිබිණි.බි‍්‍රතාන්‍යයේ ටොටිල් වීදියේ සෙන් ජෙම්ස් කී‍්‍රඩාංගණයෙන් ආරම්භ වූ සාම පා ගමනට 5000 කට අධික ශ‍්‍රී ලාංකික පිරිසක් සහභාගි වූහ. මේ සාම පාගමනට සමගාමීව එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන්ට හිතවාදී වූ පිරිස් විසින් බි‍්‍රතාන්‍යයේ සිදුකරන මුදල් රැස් කිරීම්වලට විරුද්ධව අත්සන් දස දහසකින් යුත් පෙත්සමක් බි‍්‍රතාන්‍ය අගමැති ගෝඩ්න් බ‍්‍රවුන් මහතාට බාරදීමක්ද සිදුකෙරිනි.මේ අවස්ථාවට ජනපතිගේ විශේෂ නියෝජිතයන් ලෙස සංචාරක නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා හා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදත් සිල්වා මහත්වරුද සහභාගි වූහ.

ඩෙංගු මැඩීමට කියුබාවෙන් බැක්ටීරියාවක්

වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති ඩෙංගු රෝගය මර්දනය කිරීම සදහා වූ බැක්ටීරියාව ඉදිරි සතිය තුළ කියුබාවෙන් ගෙන්වීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ,අදාළ බැක්ටීරියාව ඊයේ දිනයේ මෙරටට ගෙන්වීමට කටයුතු යොදා තිබුණද, ඒ සදහා කියුබානු රජයේ අනුමැතිය ලැබී නැති බවය. කෙසේ වෙතත්, ඉදිරි සතිය තුළ ඒ සදහා අනුමැතිය ලබාදෙනු ඇති බව මෙරට කියුබානු මහ කොමසාරිස් කාර්යාලය විසින් දැනුම් දෙනු ලැබ ඇති බව ද එහි සදහන් වේ. බී.ටී.අයි. ලෙස හැදින්වෙන අදාළ බැක්ටීරියාව ඩෙංගු මර්දනය සදහා මීට පෙර ද අවස්ථා කිහිපයකදි ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇති අතර, කුරුණෑගල සහ පොල්ගහවෙල ප්‍රදේශවලදි එය අත්හදා බලා ඇත. 1982 වසරේදී සොයා ගෙන ඇති අදාළ බැක්ටීරියාව මගින් ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සිදුකරන අතර, එය දියර වශයෙන් ඉසින බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ.

ප්‍රභාකරන්ගේ දියණිය මියගිය බව කේ.පී. කියයි

ලංකාවේ ආරක්ෂක හමුදා ත්‍රස්තවාදයට එරෙහිව දියත් කළ අවසන් සටනේදී ප්‍රභාකරන්ගේ දියණිය වන ද්වාරකාද ඝාතනය වූ බවල කේගපීග කියයි.කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානියා බව කියන කේ.පී. නැමැත්තා මේ බව පවසා තිබෙන්නේල “ඉන්දියා ටුඩේ” මාධ්‍ය ජාලය සමග සිදුකර තිබෙන සාකච්ඡාවකදීයි මෙම සටනේදී ප්‍රභාකරන්ගේ ලොකු පුතා වන චාර්ල්ස් ඇන්තනී ඝාතනය වූ බවත් හෙතෙම පවසා තිබේ.මීට අමතරව පොට්ටු අම්මාන්ගේ මියයාම පිළිබඳ විවිධ කටකතා පළවුවත් කේ.පී. නැමැත්තා පොට්ටු අම්මාන් මියගිය බවල පිළි‍ගෙන ඇත. ඔහු සඳහන් කර ඇත්තේ පසුගිය මැයි 17 වනදා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් පොට්ටු අම්මාන් මරා දැමූ බවයි. කොටින්ගේ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් හමුදාව විසින් මරා දැමූ බව ආරක්ෂක අංශ සඳහන් කළත් ඔහුගේ මළ සිරුර ප්‍රදර්ශනය නොකළ නිසා ඒ සම්බන්ධයෙන් විවිධ කටකතා පසුගිය කාලයේදී ප්‍රචාරය වී තිබිණි.ප්‍රභාකරන්ගේ බිරිය වන මදිවාදිනීගේ හා බාලපුතා වන බාලචන්ද්‍රන් පිළිබඳ නිවැරදි තොරතුරක් නොමැති බවද හෙතෙම කියා තිබේ.

ඩෙංගු වැලදුණු තව දැරියක් මියයයි

ඩෙංගු රෝගය වැළදීමෙන් තවත් දැරියක් ජීවිතක්‍ෂයට පත්වී ඇත. මොරටුව එගොඩ උයන මෝදර ප‍්‍රදේශයේ පදිංචි ෆාතිමා නලීම් (11) දැරිය කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත. ඩෙංගු වැළඳීමෙන් මියගිය දැරිය මොරටුව එගොඩ උයන අර්හාත් මුස්ලිම් මහවිදුහලේ 6වැනි වසරේ ඉගෙනුම ලබමින් සිට ඇත. මෙම පාසලේ තවත් දිරියන් සිවුදෙනෙක් ද ඩෙංගු රෝගය වැළඳී ප‍්‍රතිකාර ගනිමින් සිටිති.

Saturday, June 27, 2009

ජැක්සන්ගේ මරණය සැක සහිතයි

සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ වෛද්‍යවරයා ප්‍රශ්න කිරීම් සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, ජැක්සන් හට හෘදයාබාධය වැළඳීමට ප්‍රථම ඔහුගේ වෛද්‍යවරයා වූ වෛද්‍ය කොන්රාඩ් මුරේ විසින් ඔහුට වේදනා නාශක ඖෂධ ලබා දී ඇති බවයි. ජැක්සන් මිය යන දිනයේදීත් එම වෛද්‍යවරයා ඔහු සමඟ ජැක්සන්ගේ නිවසේ රැඳී සිටි අතර ජැක්සන් මිය යාමට ප්‍රථමයෙන් ඔහු අතුරුදන් වී ඇති බවද විදෙස් මාධ්‍ය හෙළි කරයි. මේ අතර ජැක්සන් වාසය කළ නිවස පොලීසිය විසින් පූර්ණ සෝදිසි මෙහෙයුමකට ලක් කර ඇත. ජැක්සන් මිය යෑමට ආසන්න කාලය තුළ හෘදයේ රෝගී තත්ත්වයක් තිබී ඇති අතර සම පිළිකාවකින් ද පෙළී සිටි ඇති බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු කර ඇති බව ද එම ම‍අධ්‍ය වාර්තා සඳහන් කරයි. කෙසේවෙතත් මයිකල් ජැක්සන්ගේ මරණය සම්බන්ධයෙන් සැක මතුව ඇති බැවින් ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීමට තව දුරටත් ප්‍රමාද වන බව හදිසි මරණ පරීක්ෂකවරයා පවසා තිබේ.

Friday, June 26, 2009

අනියම් දුම්රිය සේවකයින් 500 කට ස්ථීර පත්වීම්

දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ‍ආදේශක මෙතෙක් සේවය කළ සේවකයින් 500 දෙනෙකු ස්ථිර සේවයෙහි පිහිටුවීමට පියවර ගෙන තිබෙන අතර ඔවුන්ට ස්ථීර පත්වීම් ලිපි ලබාදීම හෙට (27) සිදු කෙරේ.දුම්රිය සේවයේ දෛනික වැටුප් ලබමින් තාවකාලික පදනම් කම්කරුවන් ලෙස ප්‍රවාහන, මාර්ග හා කර්මාන්ත, ධාවනාගාර, දුම්රිය ස්ථානයන් හා කාර්යාල යන අංශයන්හි සේවය කළ අයවළුන් පන්සිය දෙනෙකුට මෙසේ ස්ථිර පත්වීම් ලබාදෙනු ඇත.මෙම පත්වීම්ලාභීන් ඔවුන්ගේ කැමැත්ත මත කලින් සේවය කළ ස්ථානයන්හිම සේවයේ යෙදවීමට නියමිතය.

කර්මාන්තශාලා 137කින් රැකියා 20,000ක් ලබාදී අවසන්- අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කර්මාන්තශාලා 137ක් විවෘත කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුවේදී පැවසීය.වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු සභාගත කරමින් අමාත්‍යවරයා එසේ පැවසීය.මහින්ද චින්තනය මැතිවරණ ප්‍රකාශනයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම කර්මාන්තශාලාවක් විවෘත කර රැකියා 500ක් ලබාදීමට කටයුතු කරන බව පවසා ඇත.ඒ අනුව මේ වන විට ආරම්භ කර ඇති කර්මාන්තශාලා 137 මගින් රැකියා අවස්ථා 19,595ක් ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

සූකර උණ රෝගීන් ගණන 13 ට‍ නගී - සියළු දෙනා පිටරටවල සිට පැමිණි අය

තවත් සූකර උණ රෝගීන් තිදෙනෙකු හඳුනාගත් බව, කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය කියයි.
කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, වි‍ශේෂඥ වෛද්‍ය ගීතානි වික්‍රමසිංහ මහත්මිය පැවසුවේ ඇමරිකාවෙන් පැමිණි මවකට හා දියණියකටත් ඕස්ට්‍රේලියාවෙන් පැමිණි පුද්ගලයෙකුටත් මෙම රෝගය වැළඳී තිබෙන බව අද තහවුරු කරගත් බවයි.
මේ අනුව, මෙරටින් හඳුනාගත් සූකර උණ රෝගීන් ප්‍රමාණය 13 දෙනෙකු බවත් මොවුන් සියළු දෙනා පිටරටවල සිට පැමිණි අය බවත් ඇය සඳහන් කළාය.

මයිකල් ජැක්සන් මියයයි

පොප් ගායන ලොවේ රජු ලෙසින් සැලකෙන, සුපිරි ගායක මයිකල් ජැක්සන් ලොස්ඇන්ජලීස් රෝහලකදී මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, 50 වනවියේ පසුවූ මයිකල් ජැක්සන් මියගොස් තිබෙන්නේ හදිසි හදවත් රෝගයක් (cardiac arrest) නිසා බවයි.
මාධ්‍ය වාර්තා වලට අනුව, මයිකල් ජැක්සන්ට මෙම හදවත් රෝගය ඔහුගේ නිවසේදී හැදී තිබෙන අතර ඔහුගේ සේවකයෙකු විසින් එය වෛද්‍යවරුන්ට දැනුම් දී තිබේ.
වෛද්‍යවරුන් ජැක්සන්ගේ නිවසට පැමිණෙන විටත් ඔහුගේ හදවත ක්‍රියාත්මක තත්ත්වයේ නොතිබූ බවත් වෛද්‍යවරුන් දැඩි උත්සාහයක් ගත්තද සුපිරි පොප් ගායකයාට ජීවත්වීමට වාසනාව උදාකර දීමට හැකියාවක් නොලැබුණු බවත් වාර්තාවේ.
එක් වසරකදී වැඩිම ග්‍රැමි සම්මාන ලබාගත් පුද්ගලයා ලෙස 1984 වසරේදී වාර්තාවක් තැබීමට පවා මෙම සුපිරි පොප් ගායකයා සමත් වුණි.

යාපන හටනත් අගෝස්තු 08 දා

ඌව පළාත් සභා මැතිවරණය පැවැත්වෙන ලබන අගෝස්ත්තු 08 වනදාම වවුනියාව හා යාපනය පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.මේ අනුව, යාපනය මහ නගර සභා සහ වවුනියාව නගර සභා මැතිවරණය අගෝස්තු 08 වනදා පැවැත්වෙන අතර ඒ සඳහා නාම යෝජනා භාරදීම අද දහවල් 12.00 ට අවසන් වූ බව මැතිවරණ කාර්යාලය පවසයි.යාපනය මහ නගර සභාව සඳහා දේශපාලන පක්ෂ 08 ක් සහ ස්වාධීන කණ්ඩායම් 03 ක්ද වවුනියාව නගර සභාව සඳහා දේශපාලන පක්ෂ 07 ක් සහ ස්වාධීන කණ්ඩායම් 03 ක්ද නාම යෝජනා භාරදුන් බව මැතිවරණ කාර්යාලය පවසයි. නියෝජිතයන් 15 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිත වවුනියාව නගර සභාව සඳහා ඡන්ද දායකයන් 24,626 ක් ද නියෝජිතයන් 29 දෙනෙකු තෝරා පත් කර ගැනෙන යාපනය මහ නගර සභාවේ ඡන්ද දායකයන් 1,00,417 ක්ද සිටී. ඌව පළාත් සභා මැතිවරණයේ නාම යෝජනා භාරදීම ඊයේ (24) මධ්‍යහ්න12.00 ට අවසන් වූ අතර ඒ සඳහා පක්ෂ 14 ක් හා ස්වාධීන කණ්ඩායම් 07 ක් තරග වැදීමට නාම යෝජනා භාර දී තිබූ බව මැතිවරණ ලේකම් කාර්යාලය සඳහන් කරයි.පසුගිය 17 වනදා මෙම නාමයෝජනා භාර ගැනීම ආරම්භ වුණි. 875,456 දෙනෙකු මෙම පළාතේ ඡන්ද දායකයින් සිටින අතර බදුල්ල දිස්ත්‍රික්කයේ 574,814 දෙනෙකු සහ මොණරාගල දිස්ත්‍රික්කයේ 300,642 දෙනෙකු මෙම මැතිවරණය සඳහා ඡන්දය පාවිච්චි කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම පළාතෙන් නියෝජිතයින් 32 ක් තෝරා පත් කර ගැනීම සඳහා මෙම මැතිවරණය පැවැත්වේ. බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජිතයින් 21 ක් සහ මොණරාගල දිස්ත්‍රික්කයේ නියෝජිතයින් 11 ක් වශයෙන් මෙම නියෝජිතයින් සංඛ්‍යාව බෙදී යයි.

අර්තාපල් පෙන්වා කුඩු ගෙනා, මුදලාලි මාට්ටු

කරච්චි නුවර සිට මෙරටට ගෙනෙන ලද අර්තාපල් සමග සඟවා ගෙන ආ හෙරොයින් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ නිළධාරීන් විසින් සොයාගෙන තිබේ.
කිලෝ ග්රූම් 2.5 ක් වන මෙම හෙරොයින් තොගය අද උදෑසන ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අල්ලාගත් බව, ශ්‍රී ලංකා රේගුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්, දුමින්ද ජයරත්න සඳහන් කළේය.
අර්තාපල් හැ‍ඩ‍යට කෘත්‍රිම ලෙස සකස් කරන ලද භාජනවල බහා මෙම හෙරොයින් මෙරටට ගෙනවිත් තිබෙන බවත් අර්තාපල් හැඩයේ එම භාජන අර්තාපල් සමග මිශ්‍රකර තිබුණු බවත් හෙතෙම පැවසීය.
හෙරොයින් තොගය රැගෙන ආ ව්‍යාපාරිකයා අදාළ බහාලුම තුළ අර්තාපල් කිලෝ 1900 ක් පමණ‍ ගෙනවිත් ති‍බේ.

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී පනත පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී පනත කිසිඳු ඡුන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත විය. මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අගමැති රත්නසිරි වික‍්‍රමනායක පැවසුවේ දැනට මෙම තනතුරු ක‍්‍රියාත්මක බවත් එයාට නීතිමය වටිනාකමක් ලබා දීමේ අරමුණින් මෙම පනත ඉදිරිපත් කරන බවයි.

ජ්‍යෙෂ්ඨ එල්ටීටීඊ කාඩර්වරයකු වූ සාලප්පන් යාපනයේදී මරුට

සැඟවී සිට හමුදා සෙබළුන් වෙත ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වූ එල්ටීටීඊ සාමාජකයකු ඊයේ (24) පෙරවරුවේ යාපනය ඉයත්තලෙයි ප‍්‍රදේශයේදී හමුදාව විසින් එල්ල කරන ලද ප‍්‍රහාරයකින් මරුමුවට පත්වූ බව යුද හමුදාව පවසයි.ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් පිළිබඳව සාමාන්‍ය වැසියකුගෙන් ලද තොරතුරකට අනුව යාපනය කොඩිකාමම් ප‍්‍රදේශයේදී සෝදිසි මෙහෙයුමක යෙදී සිටි හමුදා සෙබළුන් පිරිසකට සැඟවී සිටි පුද්ගලයකු අත්බෝම්බයක් එල්ල කිරීමට උත්සාහ ගෙන ඇති අතර එහිදී සුපරික්‍ෂාකාරීව සිටි සෙබළුන් ඔහුට වෙඩි තබා ඇත. පසුව කළ සෝදිසියකදී මියගිය පුද්ගලයා ජ්‍යෙෂ්ඨ එල්ටීටීඊ කාඩර්වරයකු වූ සාලප්පන් නමැත්තා බව හඳුනාගෙන තිබේ. ඔහු සතුව තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, අත්බෝම්බ 2 ක් හා ජංගම දුරකථනයක් හමුදා සෙබළුන් විසින් සොයාගෙන තිබේ.

අපද්‍රව්‍ය බැහැර කරන ඉඩම්වල අයිතිය රජයට

ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන පිරිසිඳු නොකල පුද්ගලයින් 418කට නඩු පවරා ඇති බවත් තවත් පුද්ගලයින් 3000කට තම ස්ථාන පිරිසිඳු කර ගන්න ලෙස දන්වමින් නිවේදන නිකුත් කර ඇති බවයි. මේ අතර පලාත් සභාව මගින් අපද්‍රව්‍ය බැහැර කරන ඉඩම්වල අයිතිය හදිසි නීතිය යටතේ රජයට පවරා ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර ඇති බවයි.

Wednesday, June 24, 2009

ඉරානෙදි පරණ පවක් පල දීලා

ඉරානයේ ටෙහෙරාන්හි පැවැති උද්ඝෝෂණයකට සහභාගී වූ බව චෝදනා එල්ල කරමින් එරට ආරක්ෂක අංශ විසින් ශ්‍රී ලංකිකයෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ඉරාන ජනාධිපතිවරයාට විරුද්ධව ඔහුගේ විරුද්ධ පක්ෂිකයන් පවත්වා ඇති මෙම උද්ඝෝෂණයට මෙම දෙදෙනා සහභාගිවී නොමැති බවත් ඔවුන් දෙදෙනා පදිංචි සිටි නිවස ආසන්නයේ එම උද්ඝෝෂණය පැවැති හෙයින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් මොහොමඞ් ෆාරුක් සහ මෙහොමඞ් ඉසඞීන් වන මේ දෙදෙනා නිදහස් කැර ගැනීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය දැනටම පියවර ගෙන ඇත බවත් අමාත්‍යාංශය කියයි.

ආසන තිස් දෙකට 600 දෙනෙක් පොරට

ඌව පළාත් සභා ඡුන්දයට පිළිගත් දේශාපාලන පක්ෂ 14කින් හා ස්වාධීන කණ්ඩායම් හතකින් අපේක්ෂකයෝ 600ක් තරග වදිති. ඉන් හාරසිය හැට දෙනෙක් පිළිගත් දේශපාලන පක්ෂ වලිනි. බදුල්ල දිස්ත‍්‍රික්කයට මන්ත‍්‍රීවරුන් 21 දෙනකු ද, මොනරාගලින් 11 දෙනකු ද, වශයෙන් තිස්දෙදනකු පත්කැර ගැනීම සඳහා අගෝස්තු අටවැනි දා මේ ඡුන්දය පැවැත්වේ. නාම යෝජනා බාරගැනීම අද දහවල් 12ට අවසන් විය. බදුල්ල දිස්ත‍්‍රික්කයට දේශපාලන පක්ෂ 14ක් හා ස්වාධීන කණ්ඩායම් 4ක්ද, මොනරාගල දිස්ත‍්‍රික්කයට පක්ෂ 9ක් හා ස්වාධීන කණ්ඩායම් 3ක් ද ඉදිරිපත්ව සිටියි

ජනමත විමසුමකට ආණ්ඩුව සැරසේ

ඉදිරියේදී වර්ගවාදී අර්බුදයට විසඳුම ලෙස ඉදිරිපත් කරන යෝජනා රජයේ ප්‍රතිපත්තිය පරිදි ජනමත විචාරණයකට ලක්කරන බවල ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි. අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා එසේ රජයේ ස්ථාවරය පැහැදිලි කරන අතර මධ්‍යම පළාත් විපක්ෂ නායක එස් බී දිසානායක මහතා මාධ්‍ය හමුවේ අවධාරණය කර සිටියේ මේ සම්බන්ධයෙන් රජය තුළම විවිධ මත වාද මතුව ඇති බැවින් වහාම රජයේ ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බවයි.මේ අතර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනපති ලේකම් ලලිත් විරතුංග හා බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් මුණ ගැසීම සඳහා මේ වනවිට දිවයිනෙන් බැහැරව ගොස් ඇත.

Tuesday, June 23, 2009

ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයේ වැඩබැලීමට පත් කෙරේ

ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වැඩබලන අග විනිසුරු ලෙස අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා ය.
අග විනිසුරු අශෝක ද සිල්වා මහතා විදේශගත වී ම නිසා එම තනතුරේ වැඩ බැලීමට ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පත් කර ඇත.

අන්තර්ජාලය හරහා මුදල් වංචාකල පුද්ගලයෙක් අත්අඩංගුවට

වන්නියේ අවතැන් ජනතාවගේ තොරතුරු ඔවුන්ගේ ඥාතීන්ට ලබාදෙන බවට පවසමින් විදේශීය රටවල සිටින දැනට අවතැන් කඳවුරුවල සිටින ඥාතින්ගෙන් අන්තර්ජාලය හරහා මුදල් ලබා ගත් බත්තරමුල්ල කොස්වත්ත ප‍්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා එම අවතැන් කඳවුරු වල සිටින ජනතාවගේ විස්තර ලබාගැනීමට අවශ්‍ය වන්නේ නම් ඇමරිකානු ඩොලර් 25ක මුදලක් ලියාපදිංචිය සඳහා ගෙවිය යුතු අතර ඉන් පසුව ඔවුන් ලබා දෙන තොරතුරු අනුව ගාස්තු අය කරන බවට දන්වමින් විද්‍යුත් තැපැල් පණිවිඩ යවා ඇති අතර එය හරහා පොලිස් නිලධාරීන් පිරිස්ක මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කොට අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

ප‍්‍රා.සභා මන්ත‍්‍රී දෙදරු මවකට පිහියෙන් අනී

වේයන්ගොඩ පාරමුල්ල ප‍්‍රදේශයේ නිවසකට කඩා වැදී එහි ගෙහිමි කාන්තාවට පිහියෙන් ඇණ බරපතල තුවාල සිදුකර, නිවසට ද අලාභහානි කළ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරයකු හා ඔහුගේ බිරිඳ සමඟ 06 දෙනකු අත්අඩංගුවට ගැනීමට වේයන්ගොඩ පොලීසිය විසින් පරීක්‍ෂණ පවත්වන බව කියයි. වේයන්ගොඩ පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගැනීමට සොයනු ලබන්නේ ගිහාන් චින්තක නමැති මන්ත‍්‍රීවර යායි.පිහි ඇණුමට ලක්ව වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කර ඇත්තේ දෙදරු මවක් වන අතර කේ.ආර්. කරුණාවති නමැති 42 හැවිරිදි කාන්තාවකි.

පාතාල ලෝකයට මාරක අපල

පාතාලයේ මිනී මැරුම්, මංකොල්ල කෑම්, කප්පම් ගැනීම් හා කුඩු ජාවාරම් වලට සම්බන්ධව බවට සැක කරන පුද්ගලයින් 04 දෙනෙකු පසුගිය දින කීපය තුළ වෙඩි තබා සහ කපා කොටා ඝාතනය කර තිබේ.මහින්ද ගොඩගේ නොහොත් ‘බඩා මහින්ද, රත්මලානේ උස කුමාර ඞී.එ.ධම්මික නොහොත් ‘කුඩු මංජු’ සහ රත්මලානේ ප‍්‍රදේශයේදී තවත් පුද්ගලයකු මෙසේ මරා දමා තිබුණි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආරක්‍ෂක අංශයේ සේවය කළ බැද්දගානේ සංජීව ඝාතනය ඇතුළු ඝාතන 12 ක ප‍්‍රධාන සැකකරුවෙකු වූ ‘බඩා මහින්ද’ පසුගිය (16) වෙනිදා පාන්දර ජයවර්ධනපුර රෝහල ප‍්‍රදේශයේ පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී මිය ගිය බව පොලිසිය පැවසීය.කළු පැහැති හයිහුන්ඩා මෝටර් රථයකින් බඩා මහින්ද සහ ඔහුගේ ගෝලයින් පොලිස් අණ නොතකා පැන යද්දී පොලිසිය වෙඩි තැබූ බවත් එහිදී ඔහුගේ රියදුරු ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගිය බවත් පොලිසිය පැවසීය.
මංකොල්ල කෑම් හා කප්පම් ගැනීම් රැුසකට චෝදනා ලැබ සිටි රත්මලානේ උස කුමාර නමැත්තා ඔහුගේ රත්මලාන නිවසේදී පසුගියදා ගල්කිස්ස පොලිසියෙන් අත්අඩංගුවට ගෙන පසුව ඔහු ආයුධ පෙන්වන්නට ගිය අවස්ථාවේ ඇති වූ වෙඩි හුවමාරුවකදී මිය ගිය බව පොලිසිය පවසා තිබිණි. මත් කුඩු ජාවාරම් කරුවෙකු යැයි චෝදනා ලැබ සිටි ඞී.ධම්මික නොහොත් ‘කුඩු මංජු’ නමැත්තාට ත‍්‍රිරෝද රථයකින් පැමිණි බව කියන පිරිසක් තියුණු ආයුධයකින් කපා කොටා ඝාතන කර තලංගම දේවාල පාරේ දමා ගොස් තිබියදී පොලිසිය පසුගිය (209 රාත‍්‍රියේ සොයා ගෙන තිබේ.
හෝකන්දර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ‘කුඩු මංජු’ තවත් පාතාල කල්ලියක් විසින් ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය පැවසීය.
මේ අතර අවුරුදු 20 ක් වයසැති මුස්ලිම් ජාතික තරුණයකු පිස්තෝලයක් හා ජීව පතරොම් තොගයක් සමග අද(23) පෙරවරුවේ මාලිගාවත්ත ප‍්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු දුන් තොරතුරු මත පොලීසි කිහිපයක සහභාගිත්වයෙන් මේ වන විට එම ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුමත් කරගෙන යයි. එහාදී අත් අඩංගුවට පත් පුද්ගලයින් පවසා තිබෙන්නේ ආයුධ සන්නද්ධ කීප දෙනෙකුම එම ප‍්‍රදේශයේ සිටින බවයි. ආණ්ඩුව උතුරේ යුද්ධය අවසන් කිරීමෙන් පසු මත් කුඩු නිත්‍යානුකූල නොවන මත්පැන් සහ පාතාලය මර්දනය කරන බවට මේ රටේ ජනතාවට පසුගියදා පොරොන්දු විය.

Monday, June 22, 2009

සංගා නිවුන් දරු පියෙකුවීමට සූදානම්

විස්සයි-විස්ස ලෝක ක්‍රිකට් අනුශූරතාවයට නායකත්වය දුන් කුමාර් සංගක්කාරගේ බිරිඳ යහෙළි සංගක්කාර මෙම 30 වනදා නිවුන් දරු උපතකට සුදානම් වන බවට වෛද්‍ය වාර්තා සනාථ කර ඇතැයි ඔහුගේ පවුලේ ආරංචි මාර්ග පවසයි. වෛද්‍ය වාර්තා අනුව පුතෙකුගේ හා දියණියකගේ වාසනාවන්ත පියෙකු වීමේ දුර්ලභ අවස්ථාව සංගක්කාරට උදාවනු ඇතැයිද ඒ සඳහා සංගක්කාරගේ බිරිඳ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.1977 නොවැම්බර් මස උපත ලද සංගක්කාර මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට දායාද කළ තවත් විශිෂ්ට පිතිකරුවෙකි.
මේ අතරල සුපිරි පිතිකරු සනත් ජයසූරියද මෙම 30 දා ස්වකීය 40 වැනි උපන් දිනය සැමරීමට නියමිතය.

ලාංකිකයින්ට විදෙස් රැකවරණ එපා - බෝගොල්ලාගම

විවිධ හේතු දක්වමින් විදෙස් රටවල රැකවරණ පතන ශ්‍රී ලාංකිකයින්ට මින් ඉදිරියට එළෙස රැකවරණ නොදෙන ලෙස රජය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලයි.
විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා පැවසුවේ මේ පිළිබඳව, දැනට ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් ගොස් සිටින රටවල විදේශ අමාත්‍යාංශ දැනුවත් කර ඇති බව ය.
මීට අමතරව මෙරට පිහිටි අදාළ රටවල තානාපති කාර්යාලවල නිලධාරීන් දැනුවත් කර ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය.
මෙරට වාසය කිරීමට නොහැකි බව දක්වා ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් මේවන විට යුරෝපා රටවල් සහ කැනඩාව, අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාවට ගොස් සිටිති.
බෝගොල්ලාගම මහතා පැවසුවේ එම පිරිස් යළි මෙරටට එවීම සඳහා පියවර ගන්නා ලෙස අදාළ රටවල විදේශ අමාත්‍යාංශවලින් ඉල්ලා ඇති බව ය.
එය සම්බන්ධීකරණයට විදෙස් රටවල ඇති මෙරට තානාපති කාර්යාලවල නිලධාරීන් දැනුවත් කර තිබේ.
අමාත්‍යවරයා අවධාරණය කළේ ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු ඕනෑම පුද්ගලයෙකුටනිදහසේ වාසය කිරීමේ තත්ත්වයක් ඇති බවය.

යූනිස් සමුගනී

විස්සයි-විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට නොසැලෙන නායකත්වයක් දුන් යූනිස් ඛාන් ජාත්‍යන්තර විස්සයි-විස්ස තරග වලින් සමුගනී.
ඊයේ ලෝඩ්ස් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණු විස්සයි-විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගය පාකිස්තානය, ජය ගැනීමෙන් පසුව සිය සමුගැන්ම පාකිස්තානු නායකයා නිවේදනය කළේය.
ඔහු පැවසුවේ පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාව පහළට ඇද වැටෙද්දී තම නායකත්වයෙන් මෙවැනි ලෝක කුසලාන තරගාවලියක් ජයගැනීමට ලැබීම පිළිබඳව සතුටු වන බවයි.
ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් එක්දින තරග ලෝක කුසලානය පාකිස්තානය ජය ගැනීමෙන් පසුව මෙවැනි ජයග්‍රහණයක් ලබාගත් පළමු අවස්ථාව මෙය බව, යූනිස් ඛාන් කීය.

සෞඛ්‍ය සහතික නැත්නම් එන්න අවසර නෑ

විදෙස් රටවලින් මෙරටට පැමිණෙන සියලු පුද්ගලයන්, සිය සෞඛ්‍ය තත්ත්වය සහතික කළ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවත්, එසේ නොවන අයට මෙරටට පැමිණීමට අවසර හිමි නොවන බවත් ආගමන විගමන පාලකවරයා පවසයි.
මෙ පිළිබඳ ආගමන විගමන පාලක බණ්ඩාර අබේකෝන් මහතා ප්‍රකාශ කළේ, සිය සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සහතික කරන මගීන්ට පමණක් මෙරටට පැමිණීමට අවසර ලබාදෙන ලෙසත් සිය සෞඛ්‍ය තත්ත්වය සහතික කිරීමට අපොහොසත් වන කිසිදු පුද්ගලයෙකු මෙරටට ඇතුල් කර නොගන්නා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය ලිඛිතව තමා වෙතින් ඉල්ලීමක් කර ඇති බවයි.
මේ අතර, මෙරටදී හඳුනා ගත් ප්‍රථම සූකර උණ ‍රෝගියා සම්පූර්ණයෙන් සුවවී රෝහලින් පිටව ගිය බව අංගොඩ උණ ‍රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුර සේනානායක මහතා පවසයි.
අනෙකුත් රෝගීන් තිදෙනා තවමත් රෝහල් ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන්ගේ තත්ත්වයද එතරම් බරපතල නොවන බව වෛද්‍යවරයා සඳහන් කරයි.

පාකිස්තානුවෝ විස්සයිx20 ලෝක කුසලාන දිනානිති

ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී අද (21) පැවැති විස්සයිx20 කි‍්‍රකට් ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 8 කින් පරාජය කරමින් ලෝක ශූරයන් ලෙස අබිසෙස් ලැබීමට පාකිස්තානු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 138 ක් ලබාගත්තේය. ඊට පිළිතුරු වශයෙන් පාකිස්තානු කණ්ඩායම ඕවර 18.4 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 139 ක් ලබාගනිමින් තරගයෙන් ජයග‍්‍රහණය කළේය.

Saturday, June 20, 2009

ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දිනුවත් දඩයක් වදී

ඊයේ බටහිර ඉන්දීය කොදෙව් සමග පැවති තරඟයේදී නියමිත කාලයට අනුව පන්දුවාර නොයැවීම නිසා ශ‍්‍රී ලංකා කණ්ඩායම දඩයකට යටත් කිරීමට ඕස්ටේ‍්‍රලියානු ජාතික තරඟ තීරක ඇලන් හර්ස්ට් පියවර ගෙන ඇත.
මේ අනුව ඊයේ තරඟය සඳහා ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයන් ලද ගෙවීමෙන් 5 % බැඟින්ද නායක කුමාර සංගක්කාර ලද මුදලින් 10 % ක් ද දඩ ලෙස ජගත් ක‍්‍රිකට් කවුන්සිලය නැවත අයකර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව අවසන් තරගයට

පන්දුවාර 20/20 තරගාවලියේ අවසන් තරගයට ශ්‍රී ලංකාව ඊයේ සුදුසුකම් ලැබුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 57කින් පරදවමිනි.
නොදැවී ලකුණු 96 ක් රැස් කරමින් තිලකරත්න ඩිල්ෂාන්, ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය නියමුවා විය.
ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම, පන්දුවට පහර දීමේ වාරය ශ්‍රී ලංකාවට පිරිනැමීය.
ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි සනත් ජයසූරිය සහ තිලකරත්න ඩිල්ෂාන්ට මන්දගාමී ආරම්භයක් ලැබුණු බවක් දිස් විය.
නිසි පහර කරා යාමට ඉඩක් නොලද සනත්, සිය සුපුරුදු වේගවත් රටාවට අවතීර්ණ වනු නොහැකිව තරමක් අපහසුතාවකට ලක්වූ ආකාරයක් පෙන්නුම් කළේය.
ඒ අනුව පන්දු 37 දී සනත්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 24 ක් පමණි.
ටේලර් එවූ පන්දුවක්, උඩපන්දුවක් ලෙස ඩ්වේන් බ්‍රාවෝ වෙත මුදා හරිමින්සනත් පිටියෙන් ඉවත් වන විට පන්දුවාර 10.3 ක් ගෙවී මුලු ලකුණු සංඛ්‍යාව 73 ක් විය.
ඉන් අනතුරුව පිටියට පිවිසි නායක කුමාර සංගක්කාර හෝ මහේල ජයවර්ධනට ද අපේක්‍ෂිත ප්‍රතිඵල අත් කර ගත නොහැකි විය.
සංගක්කාර ලකුණු නොලබා ද, මහේල ලකුණු 2 ට ද කොදෙව් පන්දු යවන්නන්ට සිය කඩුලු බිලි‌ දෙමින් පිටියෙන් ඉවත් වූහ.
චාමර සිල්වාට සහ ජෙහාන් මුබාරක්ට පිළිවෙලින් රැස් කළ හැකි වූයේ ලකුණු 11 ක් සහ 7 ක් පමණි.
අනෙක් අන්තයේ කඩුලු එකිනෙක ගිලිහෙද්දී තිලකරත්න ඩිල්ෂාන් හුදෙකලාවේ යැයි කිව හැකි තරගයක යෙදෙමින් නොදැවී අගනා ලකුණු 96ක් රැස් කළේය.
අවසන් පන්දුවාර 1.3 දී ඩිල්ෂාන් හා එක්වූ ඇන්ජ‌ලෝ මැතිව්ස් පන්දු 4 දී වේගවත් ලකුණු 12 ක් රැස් කරමින් ඩිල්ෂාන් හා තරගයට යම් ජීවයක් එක් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකාව සිය පන්දුවාර 20 තුළදී කඩුලු 5 ට ලකුණු 158 ක් රැස් කළේය.
ලකුණු 159ක ඉලක්කයක් අතැතිව පිටියට පිවිසි කොදෙව් කණ්ඩායමේ ජයග්‍රහණයේ අපේක්‍ෂාව, ඇන්ජලෝ මැතිව්ස් ගේ පන්දු යැවීමෙන් සුනු විසුනු වන ලකුණු පෙන්නුම් කරන්නට විණ.
මැතිව්ස් කොදෙව් පළමු කඩුලු 3 ම බිඳහෙළුවේ ඔවුන්ගේ මුලු ලකුණු සංඛ්‍යාව 01 ලෙස රඳවමිනි.
ඔහුට ගොදුරුවූ ක්‍ෂේවියර් මාර්ෂල්, සිමන්ස් සහ ඩ්වේන් බ්‍රාවෝ ලකුණු නොලබා ම පිටියෙන් ඉවත් වූහ.
අනෙක් කිසිදු ක්‍රීඩකයකුට හෝ ස්ථාවර වීමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ,ඔවුන් ලකුණු 9න් මෙපිට සීමාවේ රඳවා පිටියෙන් ඉවත් කළහ.
නායකත්වයේ වගකීම කරට ගෙන හුදෙකලා සටනක යෙදුනු ක්‍රිස් ගේල් නොදැවී ලකුණු 63ක් රැස් කළේය.
එහෙත් ජයග්‍රහණය ලැබීමට තරම් එය ශක්තිමත් නොවුණි.
ඒ අනුව කොදෙව් කණ්ඩායම පන්දු වාර 17.4ක් තුළදී සියලු දෙනා දැවී ලකුණු 101 ක් පමණක් රැස් කළේය.
පන්දු යැවීමේදී ඇන්ජලෝ මැතිව්ස් සහ මුරලිදරන් කඩුලු 3 බැගින් ද, අජන්ත මෙන්ඩිස් කඩුලු දෙකක් ද, ඉසුරු උදාන සහ ලසිත් මාලිංග එක් කඩුල්ල බැගින් ද බිඳ හෙළීය.
මෙවර පන්දුවාර 20/20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ලබන හෙට (ඉරිදා) පැවැත්වෙනු ඇත.

h1n1 වෛරසය ආසාදිතයැයි සැකකෙරෙන රෝගීන් 12ක්

නවල් ඉන්ෆ්ලුවෙන්සා - ඒ හෙවත් h1n1 වෛරස් උණ රෝගය වැළඳී ඇති බවට සැක කෙරෙන රෝගීන් 12 දෙනෙකු අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය අනුර සේනානායක මහතා පැවසුවේ, එම රෝගීන් මේ වන විට වෛද්‍ය පරික්ෂණවලට යොමු කර ඇති බවය.
මීට අමතරව h1n1 වෛරසය උණ රෝගය වැළඳී ඇති බවට ස්ථිරව හඳුනාගත් රෝගීන් 4 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබන බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
වෛද්‍ය අනුර සේනානායක මහතා පැවසුවේ, එම රෝගීන්ට ප්‍රතිකාර කිරිමට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බවය.

Thursday, June 18, 2009

ශ්‍රී වීර වික්‍රම ලංකාධීශ්වර ජනපති මහින්ද රාජපක්ෂ


ජනතාවට සාමයෙන් සමගියෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අද ශ්‍රී වීර වික්‍රම ලංකාධීශ්වර යන ගෞරව නාමය පිරි නැමිණ.
උඩමළුව ජය ශ්‍රී මහාබෝධි ධර්ම ශාලාවේ අද පෙරවරුවේ පැවති උත්සවයකදී මෙම ගෞරව නාමය පිරිනමනු ලැබුවේ, අනුරාධපුර මහා විහාර සංඝ සභාව විසිනි.
ඊට අදාළ සන්නස් පත්‍රය අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමිපාණන් විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

ශ්‍රී ලාංකිකකයෙකු ලෙස මව්බිම වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටුකිරීමට කාලය එළඹ තිබෙනවා


ත්‍රස්තවාදය තුරන් කරමින් රට සංවර්ධනය කිරීමට කටයුතු කරන මේ මොහොතේ ශ්‍රී ලාංකිකකයෙකු ලෙස මව්බිම වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් කොටස ඉටුකිරීමට කාලය එළඹ තිබෙන බව අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (18) පැවති ලංකා රසායනික විද්‍යා ආයතනයේ 38 වන වාර්ෂික සම්මේලනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම උත්සව සභාව අමතමිනි.විදේශීය රටවල උසස් තනතුරු හොබවන ලාංකිකයන්ට තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් කොටස රට වෙනුවෙන් ඉටුකිරීමට තමන් ආරාධනා කරන බව ද අගමැතිවරයා අවධාරණය කරයි.එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් උතුරේ දූ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය නැති කළා මිස ඔවුන් වෙනුවෙන් කළ කිසිදු දෙයක් නො මැති බවත් දැන් එම අයිතීන් රජය විසින් ඔවුන්ට ලබා දී ඇති බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.ලංකා රසායනික විද්‍යා ආයතනය වසරකට උසස් අධ්‍යාපනය සඳහා බඳවා ගන්නා සිසුන් 150 දෙනා අතරට මින්පසු උතුරේ දරුවන් ද ඇතුළත් කර ගනීවි යැයි අග්‍රාමාත්‍යවරයා අපේක්ෂාව පළ කළේය.කෘෂිකර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන ඉහළ නැංවිය යුතු බවත් අපගේ ප්‍රධාන විනිමය මාර්ග ලෙස තේ , රබර් , පොල් සහ මෑතකදී එක් වූ ඇඟළුම් කර්මාන්තය හැඳින්විය හැකි බවත් අපි අපගේ අපනයන භාණ්ඩ සඳහා අගය එකතු කිරීම මඟින් වැඩි විදේශ විනිමයක් උපයා ගැනීමට සහ ඒ මඟින් ලෝකයේ සෙසු රටවල් සමග කර‍ටකර තරග කළ හැකි බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය. විවිධ ක්ෂේත්‍රයන්හි දක්ෂතා දැක් වූ විද්වතුන්ට එහිදී අග්‍රාමාත්‍යවරයා අතින් සම්මාන පිරිනැමීමක් ද සිදු වි ය.

Wednesday, June 17, 2009

කිලිනොච්චියට හා ත්‍රිකුණාමලයට වෙළෙඳ කලාප


ඉදිරියේදී කිලිනොච්චිය හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයන්හි වෙළෙඳ කලාප ඇති කිරීමට පියවර ගන්නා බව ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රව‍ර්ධන අමාත්‍ය සහ ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා ASP KNITTERS (PVT) LTD. ආයතනය සමඟ අංග සම්පූර්ණ නිමි ඇඳුම් කර්මාන්තශාලාවක් ඉදිකිරීම පිළිබඳ ගිවිසුමක් අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.මේ වන විටත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්හි කෘෂිකාර්මික නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තශාලා ඇති කිරීම සඳහා කැමැත්ත පළ කර තිබේ.මෙම ආයතනය නූල් පමණක් ආනයනය කර අංග සම්පූර්ණ නිමි ඇඳුම් නිෂ්පාදනය කරන සමාගම් කිහිපය අතරින් එකකි. මේ වන විට මෙම සමාගම ඕ‍ස්ට්‍රේලියාව ඇතුළු රටවල් 05කට සිය නිෂ්පාදන අපනයනය කරන අතර දේශීය වෙළෙඳපොළ සඳහා ද රෙදි සැපයීම සිදුකරයි.

දෙවන සූකර උණ රෝගියාත් හමු වේ

ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශ ප‍්‍රකාශ කළ පරිදි සූකර උණ වැළදී සොයාගත් අට හැවිරිදි දරුවාගේ තවත් සහෝදරයෙක්වන හය හැවිරිදි දරුවෙක්ටද සූකර උණ රෝගය වැළදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයෙන් මීට සුළු මොහොතකට පෙර නිවේදනය කරන ලදී. මෙම දරුවන් ඇතුළු පවුලේ සමාජිකයන් නම දෙනෙකුගෙන් තිදෙනෙකුටම ඌරු උණ රෝගය වැළදි ඇති අතර ඔවුන්ගේ වැඩිමහල් සොහොයුරිය සිංගප්පූරු බළධාරීන් රදවා ගෙන ඇත. එමෙන්ම ඕස්ට්‍රෙලියාවේ සිට පැමිණි මෙම පවුල සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරිකෂණය යටතේ තබාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මෙම දරුවන් දෙදෙනාම අංගොඩ උණ රෝහලේ විශේෂ ප‍්‍රතිකාර යටතේ රදවාගෙන ඇතැයි වෛද්‍ය අංශය පවසයි.

ටී.ආර්.ඕ. සභාපතිගෙන් ප්‍රශ්න කිරීමට අවසර

ටී.ආර්.ඕ. හෙවත් දෙමළ පුනරුත්ථාපන සංවිධානයේ සභාපතිවරයා සහ තවත් පුද්ගලයෙකු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර දුන්නේය.
විදේශීය මුදල් එක්රැස් කර ඒවා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත්‍රස්තවාදී කටයුතු සඳහා යෙදවූ බවට මෙම සංවිධානයට එරෙහිව තවදුරටත් පරික්ෂණ සිදුකරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
මේ අතර, අදාළ පරික්ෂණ කටයුතු සඳහා ප්‍රශ්න කිරීමට අවශ්‍ය තවත් පුද්ගලයන් 7 දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණත් ඔවුන් අධිකරණය හමුවේ අද පෙනී සිටියේ නැත.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය මෙම පුද්ගලයන් 7 දෙනාට නැවතත් අධිකරණයේ පෙනී සිටින‌ ලෙස නොතීසි නිකුත් කළාය.

පිනාචාර්ය පදවි මින් පසු බෑ

ජනාධිපතිතුමා විසින් පමණක් ප‍්‍රදානය කළ යුතු ගෞරව සම්මාන හා නාම වෙනත් කිසිදු ආයතනයකින්, සංවිධානයකින් හෝ පුද්ගලයකු විසින් පිරිනැමීම සපුරා තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය අද තීරණය කළේය. මේ අතර විශ්ව විද්‍යාල පනත යටතේ සුදුසුකම් ලැබු විශ්ව විද්‍යාල මගින් පමණක් ප‍්‍රදානය කළ යුතු ආචාර්ය, මහාචාර්ය, හා සාහිත්‍යසූරී වැනි උපාධි වෙනත් ආයතන හෝ සංවිධානවලින් ප‍්‍රදානය කිරීමද සපුරා තහනම් කිරීමටද අනුමැතිය ලැබී ඇත. ප‍්‍රධාන සංඝ සභා වලින් පිරිනමනු ලබන ගෞරව සම්මාන හා නාම සඳහා මෙම තහනම බල නොපානු ඇත. වැවිලි කර්මාන්ත ඇමැති දි.මු. ජයරත්න මහතා ඇතුළු ඇමැතිවරුන් හය දෙනකුගේ කමිටුවකින් ඉදිරිපත් වු මෙම යෝජනා ඒකමතිකව අනුමත විය.

Tuesday, June 16, 2009

නවසීලන්තය පරදා ලංකාව අවසන් පූර්ව වටයට-තරගයේ වීරයා අජන්ත මෙන්ඩිස්

නවසීලන්තය ලකුණු 48 කින් පරදවා විස්සයි- විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට තේරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වේ.
නවසීලන්ත පිතිකරුවන් අසරණ කරමින් දක්ෂ පන්දු යැවීමක නිරතවූ අජන්ත මෙන්ඩිස් ශ්‍රී ලංකාව ජය මාවතට අවතීර්ණ කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නේය.
ලකුණු 09 කට කඩුළු 03 ක් බිඳහෙළු අජන්ත මෙන්ඩිස් මෙම තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණි.
අද තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී ලකුණු 158 ක් ලබාගත් අතර ටී.එම්. ඩිල්ෂාන් ලකුණු 48 ක්, මහේල ජයවර්ධන නොදැවී ලකුණු 41 ක් හා කුමාර් සංගක්කාර ලකුණු 35 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේය.
පිළිතුරුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 110 කට දවාලීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.
ලංකාව වෙනුවන් ඉසුරු උදාන ලකුණු 17 කට කඩුළු 02 ක් දවා ගත්තේය.

ලංකාවෙන් “ඌරු උණ” රෝගියෙකු සොයාගනී

ස්වයින් ඉන්ෆ්ලුඑන්සා හෙවත් සූකර උණ වැළඳුණු රෝගියෙකු මෙරටින් සොයාගත් බව, සෞඛ්‍ය බළධාරීහු කියයි.
අයි.ඩී.එච්. රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය අනුර සේනානායක මහතා සඳහන් කරන්නේ, ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණි 08 හැවිරිදි දරුවෙකුට මෙම වෛරසය ආසාදනය වී තිබෙන බවට සොයාගෙන තිබෙන බවයි.
මෙම රෝගියා රෝහලට රැගෙනවිත් තිබෙන්නේ වත්තල ප්‍රදේශයෙනි.
මේ වනවිට, රටවල් 76 කින් සූකර උණ වැළඳුණු රෝගීන් සොයාගෙන තිබෙන බව වාර්තාවේ.

“ෂෙල්”, නෙදර්ලන්ත තානාපති හරහා ලංකාණ්ඩුවට “ගෑස්” පෙන්වයි

මෙරට ගෑස් මිල තීරණය කිරීමට රජය මැදිහත්වීමට එරෙහිව නෙදර්ලන්තයේ තානාපතිවරයා ඇමති බන්දුල ගුණවර්ධන හමුවේ කරුණු දක්වා ඇතැයි ඇමති බන්දුල කියයි.


ෂෙල් ගෑස් සමාගමේ පාලන බලය නෙදර්ලන්ත සමාගමකට අයත් නිසා තමා මෙසේ ඒ පිළිබඳව කරුණු දැක්විමට පැමිණි බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිවරයා සඳහන් ක‍ළබව, ඇමතිවරයා පවසයි.

මෙරට ගෑස් වෙළඳපොළේ මිල තීරණය කිරීමට රජය මැදිහත්වීම සම්බන්ධව ෂෙල් ගෑස් සමාගම අසතුටෙන් සිටින බවත් එය නිරාකරණය කිරීමට කටයුතු කරන ලෙසටත් නෙදර්ලන්ත තානාපතිවරයා තමාගෙන් ඉල්ලා සිටි බව, අමාත්‍යවරයා කීය.

මෙරට ගෑස්මිල තීරණය කිරීමට රජය මැදිහත්වීම සම්බන්ධව විරෝධතා ඇත්නම් එය අධිකරණයට ඉදිරිපත් කළ හැකිබව තමා නෙදර්ලන්ත තානාපතිවරයාට දැනුම් දුන් බවත් මෙම ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තමන් කැමති බව, නෙදර්ලන්ත තානාපතිවරයා පැවසූ බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

LIVE CRICKET

කසිප්පුකරුවෝ හිමි නමක් අපවත් කරත

පොලොන්නරුවේ ඇලහැර හොර මත්පැන් නිෂ්පාදකයනට එරෙහිව ලොකු හඬක් නැංවු අත්තරගල්ලෑවේ ඇලගම අභිනවාරාමයේ ඇලහැර සීලානන්ද හිමියෝ (25) මහනුවර මහා රෝහලේදී අපවත් වුහ. පසුගිය අටවැනිදා ඒ හිමියනට පිළිගැන්වු පරිප්පු ව්‍යංජනයට වස දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මරාගෙන මැරෙන කොටි දුසින් දෙකක් කොළඹට

කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් හමුදාවට හසුවන්නට පෙර කොළඹට පැන ගත් මරාගෙන මැරෙන කොටි 26 දෙනකු කොළඹ සිටිති’යි රජයේ ආරංචි මාර්ග කියයි.මොවුන් හතර දෙනකු කොටු වී සිටින බවත්, සෙසු අය වෙනත් රැුකියාවල යෙදී සිටිය හැකි බවත් රජය පවසයි.

නැගෙනහිර ධීවර තහනම ඉවතට

නැගෙනහිර මුහුදේ ධීවර කටයුතු සඳහා පනවා තිබූ තහනම අද සිට සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව රජය පවසයි.
ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, අද සිට රාති‍්‍ර කාලයේදී ද නැගෙනහිර මුහුදේ ධීවර කටයුතු සඳහා ධීවරයින් හට අවස්ථාව ලබා දීමට තීරණය කළ බව පාරලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා ඊයේ මුත්තූර් සහ ත්‍රිකුණාමලයේ ධීවරයින් පිරිසක් හමු වූ අවස්ථාවේ දී පැවසීය.
ඒ අනුව අශ්ව බල 25 ක් දක්වා ධාරිතාවකින් යුත් බෝට්ටුවලට මුහුදු යාමේ අවස්ථාව අද සිට ධීවරයින් හට ලැබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
කෙසේවෙතත් ත්‍රිකුණාමලය වරාය ප්‍රදේශයේ ධීවර කටයුතු සඳහා යෙදිය හැක්කේ අලුයම 06.00 සිට සවස 04.00 දක්වා කාලය තුළ බවත්, ඒ සඳහා භාවිතා කරන ධීවර යාත්‍රා සඳහා නාවික හමුදාවේ අවසරය ලබා ගත යුතු බව ද හෙතෙම පවසා ඇත.

රජයට බඳවාගන්නා සියළුම නිළධාරීන්ට තම මව් භාෂාවට අමතරව දෙවන භාෂාවක්

දැනට රජයේ සේවයේ 2007 වසරේ සිට ක‍්‍රියාත්මක වන චක‍්‍රලේඛනයක් පරිදි එම වසරේ සිට රජයට බඳවාගන්නා සියළුම නිළධාරීන්ට තම මව් භාෂාවට අමතරව දෙවන භාෂාවක් වසර 5ක් තුළ පුහුණු කරගත යුතු යැයි අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ප‍්‍රකාශ කර සිටී. මේ අනුව රු 25000.00ක දිරි දීමනාවක් හා වාර්ෂිකව රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමට මෙම සුදුසුකම බල පැවැත්වෙන අතර රාජ්‍ය සේවය වඩා කාර්යක්‍ෂම බවින් යුතු සේවාවක් බවට පත් කිරීම බව අමාත්‍යවරයා වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටී. රජය විසින් රාජ්‍ය සේවකයන්ට භාෂා පුහුණුකිරීම සඳහා විවිධ පාඨමාලාවන් 2007-2008 වසරේ සිට ආරම්භ කර ඇති අතර මේ වන විට රාජ්‍ය සේවකයින් 10,000කට අධික සංඛ්‍යාවක් තම පුහුණුවීම් කටයුතු සාර්ථකව සිදුකර ඇතැයි රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව කොමසාරිස් සෙනරත් ගුණසේන මහතා ප‍්‍රකාශ කර සිටී. එමෙන්ම අමාත්‍ය ඩියු ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ සියළුම රාජ්‍ය සංස්ථා ආයතන දෙපාර්තමේන්තු ආවරණය වන පරිදි එක් එක් ආයතනයක භාෂා නිළධාරියෙකු පත්කිරීමට රජය විසින් කටයුතු යොදන බවත් එම ආයතනයේ සේවය කරනු ලබන සේවකයින්ගේ භාෂා දැනුම පිළිබඳව පූර්ණ පරීක්‍ෂණයක් හා ඒ සම්බන්ධවන වාර්ථාවක් තමන් විසින් සැකසීම ඔහුගේ කාර්යභාරය බවයි.

Saturday, June 13, 2009

ජර්මන් අන්තර්ජාතික ආබාධිත බැඩ්මින්ටන් තරගාවලිය - රන් පදක්කම් ඇතුලු පදක්කම් 9ක්

9වන ජර්මන් අන්තර්ජාතික ආබාධිත බැඩ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලැබූ ආබාධිත සෙබලුන් සුවිශේෂී දක්ෂතා දක්වමින් රන් පදක්කමක්, රිහී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් 6ක් ලැබීම කැපී පෙනෙන සිදුවීමකි.එංගලන්තය, ජපානය, ඔස්ට්‍රෙලියාව, ඉන්දියාව, ප්‍රංශය, නෙදර්ලන්තය සහ ජර්මනිය ඇතුලු රටවල් 17ක් සහභාගිවූ මෙම තරගාවලියෙදී දණහිසෙන් පහළ පාදයක් අහිමි අංශයෙන් ලලිත් කුමාර රන් පදක්කම ලැබූ අතර අතක් අහිමි අංශයේ ජී. ජී උපුල් බණ්ඩාර හා රෝද පුටු 3 කොටසෙ යුගල තරගා සදහා තරග වැදුණු මේජර් මේකල මහදිවුල්වැව හා කුසුම් වීරසිංහ රිදී පදක්කමක් හා අතක් අහිමි කේවල අංශයෙන් තරග වැදුනු උපුල් බණ්ඩාර රිදී පදක්කමක් හිමිකර ගනු ලැබිය.මෙම සංචාරයේ පුහුණුකරු ලෙස රකිත විදුරංග ජයතිලක සහභාගි විය. ලෝකඩ පදක්කම් ලැබූ ක්‍රීඩකයන් පහත දැක්වේ.
රෝද පුටු (3) කොටසමේජර් මේකල මහදිවුල්වැව (කේවල් )කුසුම්සිරි වීරසිංහ (කේවල )
අතක් අහිමි කාණ්ඩයඋපුල් බණ්ඩාර සහ ඩෙන්සිල් ප්‍රනාන්දු (යුගල )
දණහිසෙන් පහළ පාහයක් රහිත කාණ්ඩයමේජර් දීපාල් හේරත් (කේවල )මේජර් දීපාල් හේරත් ( යුගල )

Friday, June 12, 2009

අනස්ලි ඩයස් නැමති විකට රජා දැයෙන් සමුගනී

අඩ සියවසරකට ආසන්න කාලයක් තිස්සේ මුළු රටම හිනැස්සු විනෝද සමය ගුවන් විදුලි වැඩ සටහනේ හාමු මහත්තයා චරිතය නිරූපණය කළ ඇනස්ලි ඩයස් මහතා (81) අද උදෑසන කැලණියේ සිය නිවසේදී අභාවප‍්‍රාප්ත විය. ඔහු සය දරු පියෙකි.දළුගම ශාන්ත ඇලෝසියස් සහ කොළඹ ශාන්ත ජෝශප් යන විදුහල්වල ආදී සිසුවකු වන ඒ මහතා සැමුවෙල් රුද්‍රිගු සහ බර්ටි ගුණතිලක සමඟ එක්ව විනෝද සමය රසවත් කළ නළුවෙකි. ඔවුන්ගෙන් පසු එවැනි වැඩසටහන් ඉදිරිපත් කළ හැකි පිරිසක් බිහිවී නැත

ජාත්‍යන්තර පොලීසිය කේ.පී සහ ඇඩෙලා ඇල්ලීමේ මෙහෙයුමක

යුද හමුදාවට බියෙන් කොටි නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන් බංකරයෙන් බංකරයට පැන ගියා සේ කොටි සංවිධානයේ ජාත්‍යන්තර උපදේශක යැයි කියාගන්නා කේ.පී. සහ ඇඩෙලා බාලසිංහම් නගරයෙන් නගරයටත් රටින් රටටත්පැන යමින් සිටින බව ජාත්‍යන්තර ඔත්තු සේවා තහවුරු කරගෙන තිබේ.
කේ.පී. හෙවත් පද්මනාදන් සහ ඇඩෙලා බාලසිංහම් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය බුද්ධි අංශ සහ ඔත්තු සේවාවල සහාය ඇතිව දැවැන්ත එහෙත් සූක්ෂම මෙහෙයුමක් සිදුකරගෙන යයි.
ඒ අනුව කේ.පී. රැඳී සිටින බවට සැකකරන ස්ථාන ගණනාවක් බුද්ධි අංශ සහ ජාත්‍යන්තර ඔත්තු සේවාවල පරීක්ෂාවට ලක්වී ඇත. එහෙත් ඔහු එම ස්ථානවලින් පලාගොස් ඇති බව හෙළිවී තිබේ.
ඔහු රැඳී සිටි ස්ථානයෙන් එරට නගර කීපයකට පලා ගොස් තිබිණි. ඉන් පසු එරටින් වෙනත් රටකට පැන යා ගත නොහැකිව බුද්ධි අංශ ඔහු පිටුපස ලුහු බදිමින් සිටියි. සැක කටයුතු දුරකතන අංක රැසක් ද පරීක්ෂණ අංශවල අවධානයට යොමු වී තිබේ.
කොටි සංවිධානයේ හිටපු න්‍යායාචාර්යය ඇන්ටන් බාලසිංහම් ගේ බිරිය ඇඩෙලා බාලසිංහම් ද ජාත්‍යන්තර වශයෙන් කොටි සංවිධාන කටයුතු තවදුරටත් කරගෙන යාම පිණිස වෙහෙසෙමින් සිටින බවට බුද්ධි අංශ තහවුරු කරගෙන තිබිණි.
ජාත්‍යන්තර කොටි නියෝජිතයන් විශාල පිරිසක් සමඟ ඇය සම්බන්ධතා පවත්වා තිබේ. ප‍්‍රභාකරන්ගේ දියණිය දුවාරාටද ඇය රැකවරණය දුන් බවට තොරතුරු ලැබී තිබිණි.
කොටි සංවිධානය මෙරට පැවැති කාලයේ ළමා කොටි සොල්දාදුවන්ට සයනයිඩ් කරල පැලඳවීම සිදුකිරීමේ උත්සව ගණනාවක ප‍්‍රධාන අමුත්තිය වශයෙන් ඇය සහභාගී වී ඇත.
කේ .පී ඇඩෙලා සහ විදේශගතව රටවල් ගණනාවක සැඟවී සිටින තවත් කොටි නියෝජිතයන් පිරිසක් එක්ව ජාත්‍යන්තර වශයෙන් කොටි සංවිධානයේ කටයුතු ඉදිරියට ගෙන යාමට කටයුතු කරති.
ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම මර්දනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසි ආරම්භ කළ මෙහෙයුම දැන් පුළුල් ලෙස සිදුකෙරේ.

ගුවන් මෙහෙයුම් සමාප්තිය අති උත්කර්ෂවත් අයුරින්

ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා පෙරගමනේ යෙදුණු ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය මෙහෙවර අති දක්ෂ ලෙස අවසන් කළ බව දක්වමින් ඊයේ (11) කටුනායක ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රයේදී “ගුවන් මෙහෙයුම් සමාප්ති උළෙල” අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.
රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මේ උළෙල පැවැති භූමියේදී සියලු ප‍්‍රහාරක යානා ඇතුළු යුද මෙහෙයුම්වල දී ප‍්‍රවාහනය නිරීක්ෂණය වැනි විවිධ කටයුතුවලට යොදාගත් ගුවන් යානා සියල්ල ප‍්‍රදර්ශනය කෙරිණි.
ලංකාවේ ප‍්‍රථම වරට එකම ස්ථානයකදී සියලු යානා මෙසේ ප‍්‍රදර්ශනය කෙරුණු අතර ගුවන් ආරක්ෂක පද්ධතියට අයත් යානා, නිරීක්ෂණ උපකරණ හා අවි සියල්ලද එහි දී ප‍්‍රදර්ශනය කරන ලදී.
එම අවස්ථාවට සියලු බලගනවල අණදෙන්නන්, නිලයන් නියමුවන් හා සෙබළ පිරිස් ද එක්ව සිටියහ.
දශක තුනකට වැඩි කාලයක් තිස්සේ පැවැති ත‍්‍රස්තවාදය අවසන් කිරීමේ දී දිවිදුන් සියලු විරුවන් සිහිකරමින් පැවැති කෙටි නිහැඩියාවකින් පසු ඇරැඹි ගුවන් මෙහෙයුම් සමාප්ති උළෙලේ දී ආරක්ෂක ලේකම්වරයා විසින් ගුවන් හමුදාපති එයාර් චීප් මාර්ෂල් රොෂාන් ගුණතිලක ඇතුළු සියලු නිලයන් හා ගුවන් සෙබළ කැළට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා රජයේ මෙන්ම මුළුමහත් ජාතියේම ප‍්‍රණාමය පුදකරනු ලැබීය.

තවත් එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් හයදෙනෙක් බාර වෙති

පසුගිය 9දා වවුනියාව වාරිකුත්තූර් බටහිර ප‍්‍රදේශයේදී එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන් හයදෙනකු පොලිස් විශේෂ කාර්ය බලකායට බාර වී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මෙම කණ්ඩායමට පිරිමි තිදෙනෙක් සහ කාන්තාවන් තිදෙනෙක් අයත් වේ.
ඉරාසරත්නම් නිර්මල රූබන් (30), සුබ‍්‍රමනියම් සත්‍යසීලන් (24), අරනන්ජි වසන්තරාජ් (21) රාජෙන්ද්‍රන් මනෝසීලා (24), සිදම්බරනාම් මේඛලා (20) සහ ගනේෂලිංගම් කර්තිනා (20) මෙසේ බාර වූ අය වෙති.
මෙම එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් ලබා දුන් තොරතුරු අනුව තුවක්කු ඇතුළු අවි ආයුධ රැසක් ද ආරක්ෂක අංශ සොයාගෙන ඇත.

ලූතිනන් කර්නල් තවදුරටත් රඳවා ප‍්‍රශ්න කරයි

එල්.ටී.ටී.ඊ ය සමග සම්බන්ධකම් පවත්වමින් ජනාධිපති, ආරක්ෂක ලේකම් හා හමුදාපතිවරයා ඝාතනය කිරීමේ තැතට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ලූතිනන් කර්නල් රංජිත් පෙරේරා ලබන ජුලි 30 දක්වා රඳවා තබා ගැනීමේ නියෝගය ගල්කිස්ස මහේස්ත‍්‍රාත්වරිය විසින් අපරාධ විමර්ශන කොට්ඨාශයට ලබා දුන්නේය.

නුසුදුසු ඇඳුමකින් ආ මන්ත්‍රීනියක් දොට්ට!

පාර්ලිමේන්තුවට නුසුදුසු ඇඳුමකින් සැරසි පැමිණි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීනී තංගේෂ්වරී කදීර්ගාමර් මහත්මිය අද පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කළාය.
පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනි ඇඳුමකින් මෙම මන්ත්‍රීනිය පැමිණි නිසා මෙම පියවර ගත් බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙකු කීය.

කැලණි සරසවිය යුද පිටියක් වෙයි


කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සහ ගම් වාසීන් පිරිසක් අතර අද ගැටුමක් ඇති විය. මේ හේතුවෙන් විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය විය. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා කැරලි මර්දන ඒකකය සහ පොලිසිය ද එහි පැමිණියේය. කිහිප අවස්ථාවකදී ම හට ගත් ගැටුම හේතුවෙන් කොළඹ - නුවර මහා මාර්ගය ද අවහිර වී තිබිණ

ලංකාව ගැන ඇති වැරදි ආකල්ප වෙනස් විය යුතුයි - අකාශි

ශ්‍රී ලංකාව පිළිබඳව අනෙකුත් රටවල් තුළ නිර්මාණය වී ඇති වැරදි ආකල්ප වෙනස් විය යුතු බව ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාශි මහතා පවසයි.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, යසුෂි අකාශි මහතා අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළ බවය.
ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ජපන් රජයේ සහයෝගය අඛණ්ඩව ශ්‍රී ලංකාවට හිමි වන බව ද අකාශි මහතා මෙහිදි ප්‍රකාශ කර තිබේ.
අවතැන් වූ ජනතාවගේ ශුභසාධනය වෙනුවෙන් රජය ක්‍රියාවට නංවා ඇති සංවර්ධන වැඩසටහන් පිළිබඳව අකාශි මහතා සිය ප්‍රසාදය පළ කළ බව ද එම නිවේදනයේ සඳහන්ය.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, උතුරු ප්‍රදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීම පිළිබඳව මෙම හමුවේදී විශේෂයෙන් සාකච්ඡාවට ලක් වූ බවය.

Wednesday, June 10, 2009

වවුනියාව හමුදා කඳවුරේ අවි ගබඩාව ගිනි ගනී

වවුනියාව යුද හමුදා ප‍්‍රධාන කඳවුරේ අවි ගබඩාව තුළ අද (09) සවස ගින්නක් හටගෙන ඇතැයි වාර්තාවේ. ගින්න සමඟ පිපිරීම් ශබ්ද ඇසෙන බව ප‍්‍රදේශවාසියෙක් පැවැසීය.
මේ පිළිබඳව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතාගෙන් විමසූ විට කීවේ හමුදා කඳවුර තුළ ගින්නක් හටගෙන ඇතත්, එය අවිගබඩාවේ හටගත් ගින්නක් ලෙස තොරතුරු නොමැති බවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ මහත්මියගේ අගතිගාමී හඬ එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිනොගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේය.ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින්, ඊශ්‍රායලය කිසිම යෝජනාවක් ශ්‍රී ලංකාවට එරෙහිව කිසිම අවස්ථාවක ඉදිරිපත් කර නැතැයි ද විදේශ අමාත්‍යවරයා පැවසීය.එසේම බැන් කී මූන් එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමා සහ ජනාධිපතිතුමා අතර කිසිම රහස් ගිවිසුමක් නොමැති බව ද ප්‍රකාශ කළ යුතුය. පසුගිය 23 වනදා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළ අතර එහි කිසිම ගිවිසුමක් ගැන සඳහන් නොවේ. මේ වන විට ශ්‍රී ලංකාව ඉතිහාසයේ ප්‍රථම වරට ලෝකයේ ත්‍රස්තවාදය පරාජය කළ රට බවට පත්ව එහි ගෞරවය ලබා තිබේ. එමනිසා ජනාධිපතිතුමා න්‍යායපත්‍ර යෝජනාවක් ඉදිරියට ගෙනයාමට කටයුතු කරයි. උතුරේ අවතැන්ව සිටින ජනතාවගේ සියලු අවශ්‍යතා සපුරමින් ස්ථිර නිවාස ගොඩනැගීමටත් කටයුතු සිදුකෙරේ. එයයි අප ජාත්‍යන්තරයට රැගෙන යන්නේ. එදා සුනාමියේදීත් අවතැන්වූ පිරිස් අප නැවත පදිංචි කළා. එසේම 2007 – 2008 කාලයේ නැගෙනහිර අවතැන්වූවන් ද අපි සාර්ථකව නැවත පදිංචි කළා. ඒ අනුව අප උතුරේ ජනතාව ද නැවත පදිංචි කිරීමට කටයුතු කරන බව ‍බෝගොල්ලාගම මහතා පැවසීය.සිංගප්පූරුවේ ‘ෂන් ග්‍රි ලා’ සමුළුව පැවැත්වෙද්දී එයට සහභාගි වූ රටවල් අප ත්‍රස්තවාදය පරදවා ලද ජයග්‍රහණය පිළිබඳව දැඩි ප්‍රසාදය පළ කළා.උතුරේ අවතැන් ජනතාව රැකබලා ගැනීමට ආරක්ෂක අංශ සහ මෙරට ජනතාව දක්වන සහයෝගය කැපීපෙනෙන කරුණක්.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්තුමියගේ අගතිගාමී හඬ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිනොගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කළේය. බැන් කී මූන් මහතා පැමිණි අවස්ථාවේ නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ දැක්වෙනවා ජාත්‍යන්තර මානව හිමිකම් රැකීම සම්බන්ධයෙන් මේ රජය කටයුතු කර ඇති බව. එල්ටීටීඊය උතුරේ ජනතාවට ලබා‍නොදුන් ඡන්ද අයිතිය ලබාදීමට අපි කටයුතු කරනවා. ප්‍රංශයේ, එංගලන්තයේ හා කැනඩාවේ පන්සල්වලට එල්ටීටීඊ හිතවාදීන්ගේ ප්‍රහාර එල්ල වුණා. එල්ටීටීඊ ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානියා කේ.පී.ව අන්තර්ජාතික පොලීසිය මගින් සොයමින් සිටී. අපි විදේශගත දෙමළ ප්‍රජාව සමඟ හොඳින් කටයුතු කරන්නෙමු. එමනිසා ඔවුන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අප ඉල්ලා ඇත. එයයි අපේ පිළිවෙත. මානව හිමිකම් රැකෙන අයුරින් මේ රටේ ජනතාවට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් ඇති කිරීමට අප කටයුතු කරන බව ද බෝගොල්ලාගම මහතා පැවසීය.

Tuesday, June 9, 2009

කොටි ත‍්‍රස්තවාදය අපට පේන්න බෑ - මිලිබෑන්ඩ්

බි‍්‍රතාන්‍ය රජය කිසි විටෙකත් කොටි ත‍්‍රස්තවාදීන්ට පක්ෂපාතීව කටයුතු නො කරන බව එරට විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් මහතා ප‍්‍රකාශ කර ඇත.
එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදය පරාජයට පත් කිරීම ශී‍්‍ර ලංකා රජය ලැබූ සුවිශේෂී ජයග‍්‍රහණයක් බව ද ඒ මහතා පවසා තිබේ.
ශී‍්‍ර ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය හා අවතැන් වූ සාමාන්‍ය වැසියන් නැවත පදිංචි කරවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ බි‍්‍රතාන්‍ය රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමේ අරමුණින් නිල සංචාරයක නියැළුණු විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා හමුවූ අවස්ථාවේදී බි‍්‍රතාන්‍ය විදේශ ලේකම්වරයා මේ බව සඳහන් කර ඇත.
ශී‍්‍ර ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය, උතුරේ අවතැන්වූ සාමාන්‍ය වැසියන් නැවත පදිංචි කිරීම හා ඒ ප‍්‍රදේශවල සංවර්ධන කටයුතු පිළිබඳ මෙහිදී බි‍්‍රතාන්‍ය විදේශ ලේකම්වරයා දැනුවත් කෙළේය.
තවද අවතැන් වූ වැසියන් යළි පදිංචි කරවීම සම්බන්ධයෙන් රජය කි‍්‍රයාත්මක කළ දින 180 වැඩසටහන ගැන ද රෝහිත බෝගොල්ලාගම මහතා කරුණු ඉදිරිපත් කර ඇත.
රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු සංවිධානවලට එම සහන කඳවුරු ආශි‍්‍රත ප‍්‍රදේශවලට යාමට ඉඩකඩ ලබාදී තිබෙන බව රෝහිත බෝගොල්ලාගම මහතා සඳහන් කරන ලද අතර අදාළ ප‍්‍රදේශවල නැවත පදිංචි කරවීම වෙනුවෙන් අවශ්‍ය ආධාර ලබාදීමට බි‍්‍රතාන්‍ය රජය කටයුතු කරන බව ඩේවිඩ් මිලිබෑන් මහතා කියා සිටියේ ය.
ශී‍්‍ර ලංකාවට බි‍්‍රතාන්‍ය විදේශ නියෝජිතයෙකු පත්කිරීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කළ එරට විදේශ ලේකම්වරයාට පිළිතුරු දෙමින් ශී‍්‍ර ලංකා විදේශ කටයුතු ඇමැතිවරයා කියා සිටියේ එවැනි විශේෂ නියෝජිතයෙකු පත් කිරීමේ ස්ථාවරයක බි‍්‍රතාන්‍ය රජය නොමැති බවය.
මේ සංචාරය අතර තුර ශී‍්‍ර ලංකා විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, එරට රාජ්‍ය විදේශ ඇමැති මැලොක් බ‍්‍රවුන් මහතාද පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා මහතාද හමුවී සාකච්ඡා පැවැත්වූහ.

කොටින්ගේ වත්කම් ජාලය ජගත් බුද්ධි අංශ විපරමට

කොටි සංවිධානයේ දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් කි‍්‍රයාත්මක වූ මුල්‍ය වත්කම්ජාලය සොයා ජාත්‍යන්තර බුද්ධි අංශ පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඒ සඳහා ජාත්‍යන්තර බුද්ධි අංශ මෙරට බුද්ධි අංශ සහ ඔත්තු සේවාවල සහායද ඉල්ලා ඇත.කොටි සංවිධානයේ නායකත්වය විනාශ කළත් එහි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක කේ.පී.හෙවත් පද්මනාදන් තව දුරටත් කොටි සංවිධානයේ මුල්‍ය කටයුතු මෙහෙයවන බවට ජාත්‍යන්තර බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇත.

ප‍්‍රධාන වශයෙන්ම ඔහු තවදුරටත් විදේශගතව සිටින ද්‍රවිඩ ජාතිකයන්ගෙන් කප්පම් එකතු කිරීමේ කටයුතු තදින්ම මෙහෙය වන බව පැවසේ.

කප්පම් ලබාදීම ප‍්‍රතික්ෂේප කරන ද්‍රවිඩයන්ට කේ.පී. කල්ලිය තර්ජන පවා එල්ල කර තිබේ. ඊට එරෙහි ද්‍රවිඩ ජාතිකයින් මේ පිළිබඳව ජාත්‍යන්තර ඔත්තු සේවාවලටත් බුද්ධි අංශවලටත් දැනුම් දී ඇත. රටවල් ගණනාවක සිදු කෙරෙන එම කප්පම් මුදල් කේ.පී. සමඟ සෙසු කොටි නියෝජිතයන්ගේ පෞද්ගලික පරිහරණයට යොදා ගන්නා ජාවාරමක් බව විදේශගත ද්‍රවිඩ ජාතිකයෝ ප‍්‍රකාශ කර ඇත.

මේ නිසා කොටි සංවිධානයේ මුල්‍ය ජාලය පිළිබඳ තොරතුරු හෙවත් ඔවුන්ගේ ගිණුම් සොයා ගැනීමට ජාත්‍යන්තර බුද්ධි අංශ පුළුල් මෙහෙයුමක් කරගෙන යන බව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් පැවසීය.

ඕස්ටේ‍්‍රලියාව තරගාවලියෙන් ඉවතට ශ‍්‍රී ලංකාව කඩුලූ 6කින් ජයගනී

විස්සයි විස්ස ලෝක කුසලාන තර`ගාවලියේ (08)පැවති ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරගයේදී කාසිය වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායකයා මුලින්ම පන්දුවට පහරදීමට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට ආරාධනා කලේය. ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලූ 9ක් දැවී ලකුණු 159 ලබාගත් අතර ලකුණු 160ක ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 4ක් පමණක් දැවී සිය ඉලක්කය සම්පුර්ණ කලේය. මෙහදී කැපීපෙනෙන ඉනිමක් ක‍්‍රීඩා කල නායක කුමාර සංගක්කාර නොදැවී (56) සහ තිලකරත්න ඩිල්ෂාන් (53) ලබා ගත්තේය. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් අජන්ත මෙන්ඩිස් හා ලසිත් මාලිංග කඩුලූ 3 බැගින් ලබාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

Monday, June 8, 2009

මොරටුවේදී ලක්ෂ 16 ක් මංකොල්ල කයි

බැංකුවක මුදල් තැන්පත් කිරීමට පැමිණි ව්‍යාපාරිකයෙකුගේ මුදල් බෑගය කොල්ලකරුවන් විසින් අද උදෑසන මොරටුව, රාවතාවත්තේදී පැහැරගෙන තිබෙන බව, පොලීසිය කියයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා පැවසුවේ කොල්ලකරුවන් පැහැරගෙන තිබෙන මුදල් ප්‍රමාණය ලක්ෂ 16 ක් පමණ වන බවයි.
කොල්ලකරුවන් කළ වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයාගේ රියදුරා මියගොස් තිබෙන බවත් කොල්ලකරුවන් දෙදෙනා යතුරු පැදියකින් පලාගිය බවට තොරතුරු ලැබී ඇති බවත් රංජිත් ගුණසේකර මහතා කීය.

සිංහයෝ සහ කැන්ගරුවන් අද තරග වදිති

විස්සයි-විස්ස ලෝක කුසලාන තරගාවලියේ ලංකාව මුහුණ දෙන පළමු තරගය අද පැවැත්වේ.
මෙහිදී ලංකාව තරග වදින්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගයි.මෙම තරගාවලියේ රැඳී සිටීමට නම් ඕස්ට්‍රේලියාවට මෙම තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ.පසුගියදාල ඕස්ට්‍රේලියාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙතින් කඩුළු 07 කින් පරාජයට පත්වීම නිසා මේ තත්ත්වය ඔවුන්ට උදාවී තිබේ.
තරගය පැවැත්වෙන්නේ නොටින්හැම්හි ට්‍රෙන්ට්බ්‍රිජ් ක්‍රීඩාංගනයේදීය.

‘කැප්ටන් අලී’ හරවා යවයි

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී පසුගියදා නාවික හමුදා භාරයට පත්වූ ‘කැප්ටන් අලී’ නෞකාව නැවත හරවා යැවීමට රජය තීරණය කර ඇතැයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.
ටොන් 884 ක ආහාර, බෙහෙත් හා වෛද්‍ය උපකරණ රැගෙන පුදුමාතලන් දක්වා ඒමට කැප්ටන් අලී නෞකාව කුලී පදනම මත අදාළ නෞකා සමාගමෙන් ලබාගෙන ඇති බව තහවුරු වීමෙන් පසු නෞකාව ආපසු හරවා යැවීමට තීරණය කළ බව ආරක්‍ෂක ලේකම්වරයා පැවැසීය.
කාර්ය මණ්ඩලයේ 15 දෙනා ද සමඟ කැප්ටන් අලී නැව ආපසු හරවා යැවීමට නියමිතය. දින 3ක් තිස්සේ නාවික හමුදා කළ පරීක්‍ෂාවලදී ආහාර, බෙහෙත් හා වෛද්‍ය උපකරණ හැරෙන්නට වෙනත් කිසිදු නීති විරෝධී යමක් හමුනොවූ බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් මහේෂ් කරුණාරත්න මහතා පැවැසීය.
මේ අතර නාවික හමුදා බුද්ධි අංශය කළ පරීක්‍ෂණ වලදී හෙළිකරගත් කැප්ටන් අලි නෞකාවේ මෙරට නියෝජිතයා වශයෙන් සැකකරන පුද්ගලයකු නෞකාව නාවික හමුදා භාරගත් දිනයේම රහසේ විදේශ ගතවීමට යාමේදී පසුගිය බ‍්‍රහස්ප‍්‍රතින්දා (04) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ කරගෙන යයි.

Sunday, June 7, 2009

ජනපති රනින් බාරයක් ඔප්පු කරයි

යුද්ධයට පෙර කතරගමට වූ භාරයක් ඔප්පු කිරීමට ති‍්‍රවිධ හමුදා සේනාධිනායක මහින්ද රාජක්‍ෂ ජනපති ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද ති‍්‍රවිධ හමුදාපතිවරුන් හා පොලිස් පතිද සමග සෙනසුරාදා රාති‍්‍රයේ පැමිණ කිරිවෙහෙර වැඳ පුදා මහසෙන් පිළිරුවට මල් මාලා පළඳවා අෂ්ඨ බල බෝධිය ඉදිරිපිට පූජාවක් පවත්වා සෙසු දේවාල ද වැඳ පුදා කතරගම දෙවියනට රන් මුවා දේවාභරණ පිළිගන්වා ඇත.

උතුරෙන් කොළඹට ගෙනැවිත් සැඟවූ අවි, පුපුරන ද්‍රව්‍ය සොයයි

ප‍්‍රභූ ඝාතන ඇතුළු විනාශකාරී කි‍්‍රයා සඳහා යොදා ගැනීමට උතුරේ සිට දකුණට ගෙන එනු ලැබූ අධිබලැති පුපුරන ද්‍රව්‍ය ගිනිඅවි හා මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල හා කොටි සාමාජික සාමාජිකාවන් සොයා ගැනීමට බාරවූ හා අල්ලාගත් ප‍්‍රබල කොටි විසි දෙනකු ගෙන් පමණ සමන්විත කණ්ඩායමක ගෙන් තොරතුරු ලබා ගැනීමට රහස් පොලිසිය හා ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත.
මරාගෙන මැරෙන කොටි සාමාජිකයන් බුද්ධි අංශ සාමාජිකාවන් ඇතුළු පිරිස් සාමාන්‍ය වැසියන් සේ දැනට දකුණේ නිහඬව රැඳී සිටින බවට ලැබුණු තොරතුරු මත අත්අඩංගුවේ සිටින ප‍්‍රබල කොටින් ගෙන් දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කිරීම් අරඹා තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.
දකුණේ විනාශකාරී කි‍්‍රයා සිදුකොට උතුරට පළා ගිය ත‍්‍රස්තවාදීන් මෙන් ම එම ප‍්‍රහාර උතුරේ සිට සැලැසුම් කළ මෙතෙක් අල්ලා ගැනීමට නොහැකිවූ කොටි ප‍්‍රබලයන් කොටු කරගැනීමත්මේ පරීක්ෂණයේ අරමුණ බව ද හෙතෙම ප‍්‍රකාශ කළේය.
ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත වන්නි දිසා බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා ගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන මෙම වැඩපිළිවෙළින් දැනටමත් සාර්ථක ප‍්‍රතිඵල ලබා ගෙන ඇත.
වව්නියාව දිස්ති‍්‍රක්කයේ පැවැති ආරක්ෂක සැලැස්ම පවා වෙනස් කොට බුද්ධි අංශ ස්ථාපිත කිරීම මෙහි මූලික පියවර වී ඇත.
මේ වන විටත් ප‍්‍රභූ ඝාතන සැලැසුම් රැසක් හෙළිවී ඇති අතර පුපුරන ද්‍රව්‍ය අවිආයුධ විශාල තොගයක් වළ දමා තිබියදී සොයාගෙන තිබේ. කන්ටේනර තුනක සඟවා වළ දමා ඇතැයි කියන අවිආයුධ තොගයක් පිළිබඳව ද එක් කොටි සාමාජිකයකු හෙළිදරව් කර ඇති බව ද හෙතෙම පැවැසුවේය.
යුදමය කලාපයට වඩා දකුණේ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමුවිය යුතු බැවින් මෙම ප‍්‍රශ්න කිරීම් කඩිනම් කර ඇති බවත් එමගින් දකුණට ඇති හා තිබුණු තර්ජනය හඳුනාගත හැකි බවත් ඔහු සඳහන් කළේය.

පොසොන් නිමිත්තෙන් සිරකරුවන් රැසකට නිදහස

පොසොන් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැදවියන් 583 දෙනෙකු විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.
බන්ධනාගාර කොමසාරිස් ලක්ෂ්මන්ද සිල්වා මහතා සදහන් කලේ, එසේ නිදහස් කෙරෙන පිරිස, යුද,ගුවන් හා නාවික හමුදාවන්හි සිට දැනට බන්ධනාගාරගතව සිටින බවය.
ඔවුන්ගේ දඩුවම් කාලය අද දිනට හරි අඩක් අවසන්ව ඇති බව ලක්ෂ්මන් සිල්වා මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව අනුරාධපුර බන්ධනාගාරයෙන් රැදවියන් අනූ දෙදෙනකු, වටරැක බන්ධනාගාරයෙන් හැත්තෑදෙනෙකු ,මීගමුව බන්ධනාගාරයෙන් 58 දෙනෙකු,මහර බන්ධනාගාරයෙන් 57දෙනෙකු හා බෝගම්බර බන්ධනාගාරයෙන් රැදවියන් 59 දෙනෙකු නිදහස ලබනු ඇත.

Saturday, June 6, 2009

අගවිනිසුරු සරත් එන් ද සිල්වා එල්ටීටීඊ යට සුදුහුණු ගායි

කිලිනොච්චි, මුලතිව්වල කොටි උසාවි තිබුණත් ඔවුන් අපේ අධිකරණවලට ගරු කළායි අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඊයේ (05) පැවසීය.
අධිකරණ බල සීමා නිර්ණය කිරීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් එසේ කී අගවිනිසුරු සරත් සිල්වා මහතා ශ‍්‍රී ලාංකිකයකු ලෙස ශ‍්‍රී ලාංකිකයන්ට ඉතා හොඳ සේවයක් කළ තමා තෘප්තිමත්ව නිහතමානී ලෙස ඉතා සතුටින් රාජ්‍ය සේවයෙන් විශ‍්‍රාම යන්නේ යැයි ද කීය.
දෙමළ ජනතාව ගෞරවාන්විත ජන කොට්ඨාසයක්. ඔවුන් නීතියට මෙන්ම අන් අයගේ අයිතිවාසිකම්වලටද ගරු කළා. කොටි සංවිධානයත් අපේ අධිකරණ ක‍්‍රමයට ගුරු කළා. අඩුම තරමින් ඔවුන් අපේ උසාවියකට එකම වෙඩිල්ලක්වත් තිබ්බේ නැතැයි කී සරත් සිල්වා මහතා, ප‍්‍රභාකරන්ට විරුද්ධව නීතිමය අතින් වඩා හානිකර දේ කළ තමාට යාපනේ ගිහිං උසාවි පවා විවෘත කිරීමට හැකි වූයේ යැයි ද කීහ. දළදා මන්දිරයට එල්ළකල ප්‍රහාරය පවා ඔහුට අමතකවීම හාස්‍යට කරුනකි.

20-20 ලෝක කුසලාන ඊයේ තරඟයෙන් ජයග්‍රහණය නෙදර්ලන්තයට

එංගලන්තයේදී ඊයේ (05) ආරම්භ වූ 20-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදා කඩුලූ 4 ක ජයක් ලබන්නට නවක නෙදර්ලන්ත කණ්ඩායම සමත් විය.
එංගලන්ත පිල මුලින් පන්දුවට පහරදී නියමිත පන්දුවාර 20 තුළ කඩුලූ 5ක් දැවී ලකුණු 162 ක් (රවී බෝපරා 46, ජේ. රයිට් 71) රැස් කළ අතර නෙදර්ලන්ත කණ්ඩායම තම පන්දුවාර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 163 ක් ලබා පළමු තරගයේ ජය වාර්තා කළේය.
අද (06) පැවැත්වෙන තරග වනුයේ නවසීලන්තය හා ස්කොට්ලන්තය අතර තරගය, ඕස්ටේ‍්‍රලියාව හා බටහිර ඉන්දීය දූපත් අතර තරගය ( ඕවල් හිදී) බංග්ලාදේශය හා ඉන්දීයාව අතර තරගයයි.

යාල් දේවි දුම්රිය නැවත ගමන් අරඹයි

පුරා අවුරුදු 20කට පසුව නතර කර දමා තිබු යාල් දේවි දුම්රිය අද උදෑසන නැවත වතාවක් කොළඹ කොටුව සිට තන්ඩිකුලම් බලා ගමන් අරඹූ බව ප‍්‍රවාහන අමාත්‍යංශය කියා සිටි.

Friday, June 5, 2009

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ‘No Action Motion’ ක්‍රියාත්මක වෙයි


ඉතිහාසයේ ප්‍රථම වතාවට ජගත් මානව හිමිකම් කවුන්සලයේදී වෙනත් පාර්ශවයක යෝජනාවක් තවදුරටත් සාකච්ඡා නොකළ යුතුයි යන ‘No Action Motion’ ශ්‍රී ලංකාව වෙනුවෙන් සම්මත වූ බව මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.
අද (04) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ ඇමතිවරයා, පසුගියදා ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පැවති විශේෂ සමුළුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කියුබානු තානාපතිවරයා විසින් ‘No Action Motion’ යෝජනාව ඉදිරිපත් කළ බව කියා සිටියේය.
ඒ අනුව ශ්‍රී ලංකාව පිළිබඳ ජර්මනිය විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනා 09 ක් සාකච්ඡාවකට හෝ භාජනය නොවී හකුළා ගැනීමට සිදු වූ බවද ඇමතිවරයා පැවසීය.
ශ්‍රී ලංකාව විසින් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ පරිච්ඡේද 17 ක යෝජනාව, ශ්‍ර්‍රී ලංකාවට එරෙහිව යුරෝපා රටවල් ඉදිරිපත් කළ යෝජනාවේ ඇතැම් දේ සංශෝධන සහිතව ඇතුළත් කර පරිච්ඡේද 33 ක් දක්වා දීර්ඝ කිරීමෙනුත් අනතුරුව ජර්මනිය විසින් මෙම යෝජනා ඉදිරිපත් කළ බවද ඇමතිවරයා පැවසීය.
ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවල් ඉතා සැලසුම් සහගතව මෙම සමුළුව කැඳවීමට කටයුතු කළද කිසිඳු විනිවිද භාවයක් එහි නොතිබූ අතර අවසානයේ බහුතර ජාත්‍යන්තර මතය ලෙස ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය පිළිගත් අතර පාකිස්ථානය, කියුබාව ඇතුළු රටවල් රැසක් යුරෝපීය රටවල මෙම අසාධාරණ ක්‍රියා කලාපය දැඩි‍ ලෙස හෙළාදකිමින් විවේචනය කළ බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

රක්‍ෂණ සංස්ථාව යළි රජයට ගන්න -ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලික අංශයට පවරමින් 2003 දී ගත් ක‍්‍රියා මාර්ගය අවලංගු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම කොටස් භාණ්ඩාගාර ලේකම්ට බාර දෙන ලෙස නියෝග කෙළේය. දෙසතියකින් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරන ලෙස ද රක්ෂණ සංස්ථාව මිලට ගත් හැරී ජයවර්ධන මහතා ප‍්‍රමුඛ පාර්ශවය ඊට ගෙවූ රුපියල් කෝටි 650 භාණ්ඩාගාර බිල්පත් මගින් ගෙවන ලෙස ද නියෝග කැරිණි.
හිටපු මන්ත‍්‍රී හා ජනාධිපති උපදේශක වාසුදේව නානායක්කාර මහතා මේ පෙත්සම ගොනු කෙළේය. නිහාල් ශ්‍රී අමරසේකර මහතා අතුරු පාර්ශවකරුවෙක් විය. අගවිනිසුරු සරත් එන් සිල්වා ප‍්‍රමුඛ ත‍්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් විසින් මේ තීන්දුව ප‍්‍රකාශයට පත් කැරිණි.

‘කැප්ටන් අලී’ නැව නාවික හමුදා අත්අඩංගුවේ



දෙමළ ඩයස්පෝරාව විසින් එකතු කරන ලද ආධාර රැුගෙන බලහත් කාරයෙන් ලංකාව බලා එමින් සිටි ‘කැප්ටන් අලී’ නමැති නෞකාවක් ශ‍්‍රී ලංකා මුහුදු සීමාවේදී අද (04) දහවල් නාවික හමුදාව විසින් සිය බාරයට ගෙන ඇත.
පුදුමාතලන් හි එල්ටීටීඊය දෙමළ සිවිල් වැසියන් රඳවාගෙන සිටි කාලයේ මෙම ආධාර ‘මර්සි මිෂන්’ නම් නෞකාවකින් මුලතිව් වෙරළට රැගෙන ඒමට උත්සාහ කළ ද පසුව එය වෙනස් විය. මර්සි මිෂන් නෞකාව ප‍්‍රංශයට ගොස් ප‍්‍රංශයේ සිට කැප්ටන් අලී නම් නෞකාවකට මෙම ආධාර මාරු කර ඇතැයි ද කැප්ටන් අලී නෞකාව පසුගිය මැයි 07 වනදා ප‍්‍රංශයෙන් පිටත්ව ලංකාව බලා ගමන් අරඹා ඇත. නිසි අවසරයකින් තොරව ශ‍්‍රී ලංකාව බලා එමින් සිටි මෙම කැප්ටන් අලී නෞකාව අද උදෑසන ශ‍්‍රී ලංකාවේ බටහිර වෙරළින් කිලෝමීටර් 160 ක් දුරදී ශ‍්‍රී ලංකා නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම නැවේ 15 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සේවය කර ඇත. ඒ අතර පසුගිය සටන්විරාම නිරීක්‍ෂණ කමිටුවේ සාමාජිකයකුව සිටි අයිස්ලන්ත ජාතික ක‍්‍රිස්ජාන් ගෝමුන්සන් යන අයෙක් ද සිටින බව නාවික හමුදාව පවසයි. මෙම නැවේ ගෙනා භාණ්ඩ සම්බන්ධයෙන් නාවික හමුදාව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

Wednesday, June 3, 2009

බ්‍රිතාන්‍ය පොලීසියට කොටි හිතවතුන් නිසා පවුම් මිලියන 8ක් වැය වෙයි

කොටි සංවිධානයට හිතවත් උද්ඝෝෂකයන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල දින 43ක් තිස්සේ කළ උද්ඝෝෂණ නිසා ලන්ඩන් නාගරික ‍පොලීසියට පවුම් මිලියන 8ක් වැයවී ඇතැයි බ්‍රිතාන්‍ය පොලීසිය පවසයි. ලන්ඩන් පොලිස් කොමසාරිස් ශ්‍රී මත් පෝල් ස්ටීවන්සන් මහතා, එරට පාර්ලිමේන්තුවේ ස්වදේශ කටයුතු කොමිෂමට පවසා ඇත්තේ මෙම උද්ඝෝෂණ නිසා පොලීසියට අසාමාන්‍ය අවහිරයක් සිදුවූ බවයි.
පසුගිය දින කිහිපය තුළ කොටි හිතවාදී කණ්ඩායම් විසින් කොටි සංවිධානයේ ලාංඡන සහිත කොටි ප්‍රදර්ශනය කරමින් හැසිරී තිබෙන අතර මෙය ත්‍රස්තවාදය වැළැක්වීමේ නිති උල්ලංඝනය කිරීමක් බවද බ්‍රිතාන්‍ය පොලීසිය සඳහන් කර ඇත. කොඩි සහ බෙර වයමින් එරට මාර්ගයන්හි කොටි හිතවාදී කණ්ඩායම් සැරිසැරීම ප්‍රවාහන පද්ධතියට පමණක් නොව එරට පොදු ජනතාවගේ ද එදිනෙදා කටයුතු සඳහා දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

ශ‍්‍රී ලංකාව ‘ආසියාවේ ආඩම්බරය’ බවට පත් කරගත යුතුයි -ජනාධිපති

‘අපි කොහේවත් තියෙන රටක කාබන් කොපියක් නොවෙයි. ලෝකයටත් පරාද කළ නොහැකි ත‍්‍රස්තවාදය පරාද කරන්න ආසියාවෙන් ධෛර්යය දුන්න අපේ රට ආසියාවේ ආඩම්බරය බවට පත්කර ගන්න ඕනෑ.’ යැයි කොළඹ ගාලූමුවදොර පිටියේ අද (03) පැවැති රණවිරු උත්තමාචාර උළෙලේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.
ජනාධිපතිවරයා පැවැත්වූ සම්පූර්ණ කථාව මෙසේය.
මම අද ජාතික ධජය එසවූයේ එක්සේසත් කරනු ලැබූ මාගේ මාතෘ භූමිය මත බව මම මහත් ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව ප‍්‍රකාශ කරනවා. එසේම ඓතිහාසික විජයග‍්‍රහණයක් ලැබූ රණකාමිත්වයෙන්, විනයෙන්, කාර්යශූරත්වයෙන්, වීරෝධාරත්වයෙන් ලොව මවිතයට පත් කළ ත‍්‍රිවිධ හමුදාවක් මා ඉදිරියේ සිටිනවා. ඒ වාගේම ශ්‍රේෂඨ අනාගතයක් උදාකර ගැනීමට සුබ සිහින දකිමින් සිටින ශ‍්‍රී ලාංකික ජාතිය මා මේ මොහොතේ අමතන්නේ අපේ අනාගතය පිළිබඳව මහත් බලාපොරොත්තු ඇතිවයි. මිත‍්‍රවරුනි, මාගේ මාතෘ භූමිය එක්සේසත් කළ ඒ උදාර මානුෂික මෙහෙයුම ශ්‍රේෂ්ඨ අනාගතයක් කරා පා නැගීමට සූදානමින් සිටින්නා වූ අප ජාතියට මං පෙත විවර කර තිබෙනවා. පසුගිය දින කිහිපයේ ඇතිවුන සිදුවීම් වලින් අපට පෙණුනා අප මාතෘ භූමිය ලබා ගත් මේ විජයග‍්‍රහණය පිළිබඳව මුළු ලෝකයම පුදුමයට පත් වූ බව. ත‍්‍රස්තවාදය පරාජය කිරීම ගැන බොහෝ රටවල් අප වෙත ඔවුන්ගේ සතුට පළ කලා.
ලෝකය මේ වාගේ බලගතු ත‍්‍රස්තවාදී සංවිධානයක් මෙතෙක් දැකලා තිබුණේ නෑ. නැව්, ගුවන් යානා, සබ්මැරීන්, දැවැන්ත ගිනි අවි, ඒ සියල්ලටමත් වඩා මරාගෙන මැරෙන බෝම්බකරුවන්, බෝම්බ කාරියන්. මේ නිසාම ලෝකයේ බලවත්ම ත‍්‍රස්තවාදී සංවිධානය මෙල්ල කරන්න නම් ලොව බලවත් රාජ්‍යයක හමුදාවක් හෝ එක්සත් ජාතීන්ගේ හමුදා යෙදවිය යුතු බවට සමහරු මත පල කළා.
අවුරුද්දක් දෙකක් නෙවෙයි, අවුරුදු තිහක කාලයක් තිස්සේ ත‍්‍රස්තවාදීන් අපේ මාතෘ භූමියේ කොටසක් අල්ල ගත්ත ආකාරය ඉතාම බිහිසුණුයි. ඔවුන් මුළු රටම යටත් කර ගන්න තිබූ සැලසුම් දරුණුයි.
2005 වෙන කොට රාජ්‍ය නායකයෝ හතර දෙනෙක් එක්ක යුද්ධ කරලා එක නායකයෙක් මරා දාලා ත‍්‍රස්තවාදී නායකයා නිරුපද්‍රිතව හිටියා. බලවත් වූ ඉන්දියානු හමුදාවත් එක්ක යුද්ධ කරලා අවසානයේ කීර්තිමත් ඉන්දියානු අගමැතිවරයෙකුත් ඝාතනය කළා. අපේ නාවික හමුදාපතිවරයෙක් වුන අද්මිරාල් ක්ලැන්සි ප‍්‍රනාන්දුවත් ඝාතනය කළා.
අපගේ වීරෝධාර සෙන්පතිවරුන් වන ලූතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, මේජර් ජෙනරාල් විජය විමලරත්න, මේජර් ජෙනරාල් ලකී විජේරත්නගේ ඉඳන් ලූතිනන් ජෙනරාල් පාරමී කුලතුංග වගේම තවත් සෙන්පතිවරුන් ඝාතනය කරන්න එල්.ටී.ටී.ඊ.යට පුළුවන් කමක් ලැබුණා. ඩෝරා යාත‍්‍රා රාශියක් ගිල්වලා තමාගේම නැව් වලින් ආයුධ ගෙන්වමින් ඉන්න අතරේ ගුවන් යානා ගණනාවක් බිම දමලා ගුවන් නියමුවෝ නැව් වලින් ආයුධ ගෙන්වමින් ඉන්න අතරේ ගුවන් යානා ගණනාවක් බිම දමලා ගුවන් නියමුවෝ 35 කට වඩා ඝාතනය කළා. රන්ජන් විජේරත්න ආරක්ෂක ඇමතිවරයාත් වඩමාරච්චි මෙහෙයුමට මඟ පෙන් වූ ලලිත් ඇතුලත්මුදලි හිටපු ආරක්ෂක ඇමතිවරයාවත් ඝාතනය කළා.
අධිආරක්ෂිත කලාපයක් වේවා, උතුම් දළදා මාළිගාව වේවා, මේ ඕනෑම තැනකට දරුණු ප‍්‍රහාර එල්ල කිරීමට එල්.ටී.ටී.ඊ.යට පුළුවන්කම ලැබුණා. කොළඹ ඇතුළු අපේ ආර්ථික කලාපය ත‍්‍රස්තවාදීන්ගේ පහසු ගොදුර බවට පත්වෙලා තිබුණා.
මේ නිසා ත‍්‍රස්තවාදීන්ට එරෙහිව පහර දෙන්න එක නොවෙයි, ඔවුන්ට විරුද්ධව කතා කරන එකත් පරම්පරා ගණනක් පළි ගැනීමට ලක්වෙන බිහිසුණු දෙයක් වුණා. ඒත් ඒවා නවත්වන්න පුළුවන් කෙනෙක් ලෝකයේ හිටියේ නෑ. සාම ගිවිසුම කාලේ ත‍්‍රස්තවාදීන් තවත් ඒකාධිපති ආණ්ඩුවක් තරමට වර්ධනය වුණා. අවාසනාවකට අපේ පොලීසියේ, හමුදාවේ නිලධාරීන්ට දහස් ගණන් මිනී මරපු මේ ත‍්‍රස්තවාදීන්ට ආරක්ෂාව සළසා දෙන්නත් සිද්ධ වුණා. හැබැයි, ත‍්‍රස්තවාදීන් කුපිත වෙන නිසා අපේ හමුදාවේ නිලධාරීන්ට බංකරයක් හදන්න ගෝනි කෑල්ලක්වත් ආණ්ඩුව දුන්නේ නෑ.
ත‍්‍රස්තවාදීන් ඇවිත් අපේ හමුදාවේ සෙබළුන්ගේ බංකර් ඉදිරියේ ඇඳි වත ඔසවලා පෙන්වූවත් සාමය වෙනුවෙන් ඉවසන්න කියලා උපදෙස් ලැබී තිබුණේ. 2005 මා ජනාධිපති ලෙස පත්වන විට හමුදාවට උතුරු කරයේ එහේ මෙහේ යන්න පුළුවන් වුනේ තුවක්කුව අතැතිව, හැබැයි වෙඩි උණ්ඩ නැතිව. අප අමතක කළ යුතු නැහැ, එහෙම ගිය නිරායුධ සෙබළ පිරිසකටයි 2005 දෙසැම්බර් මාසයේ ත‍්‍රස්තවාදීන් ප‍්‍රහාරයක් එල්ල කොට මරා දැමුවේ. මේවා බලා හමුදාවට උහුලා ගෙන ඉන්න සිද්ධ වුණා.
වසර දහස් ගණනක් තිස්සේ ලෝකයේ දරුණුම ආකමණිකයන්ට මුහුණ දීලා, ඔවුන් පරාද කරලා, තමන්ගේ මාතෘ භූමිය බේරා ගත් ජනතාවකගෙන් පැවත එන රටක් මේක. දුටුගැමුණු මහ රජතුමාගේ ඉඳන්, සිංහලේ අන්තිම රජු ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ දක්වාත්, කැප්පෙටිපොළ වීරපුරංඅප්පු දක්වාත්, ආක‍්‍රමනිකයන්ට එරෙහිව අභීතව සටන් වැදුන ඉතිහාසයක් හිමි ජනතාවක් අපේ රටේ ඉන්නවා.
අතීතයේ ඒ මහා සටන් වලින් ඉගෙන ගත් පාඩම් අපේ සම්, මස්, ලේ නහර ඇට මිදුළු සිඳගෙන ගිහින් ඒවායේ පතුලේත් තැන්පත් වෙලා තිබෙනවා. අපේ වීරෝධාර සෙබළුන් කුපිත නොවී විනය ගැරුකව වෙලාව එනතුරු ඉවසා ගෙන හිටියා.
වේදනා විඳවීම නිසා ඇතිවන අධිෂ්ඨානයේ තරම කොයිතරම් බලවත් ද කියලා දැප් අපට පෙනෙනවා. වසර තිහක් ලොකයේ දරුණුම, බලගතුම ත‍්‍රස්තවාදී හමුදාව වසර තුනක් ගත වෙන්නත් කළින් සපුරා පොඩි පට්ටම් කරළා ඉවරයි. තව දුරටත් ත‍්‍රස්තවාදීන් අනඟිභවනීය නෑ. අනඟිභවනීය එකයි. ඒ වීරෝධාර ඔබයි. අපගේ මාතෘ භූමියයි.
මේ ශේෂ්ඨතම විජයග‍්‍රහණය ලබා ගත්තේ අපේ ඉදිරිපිට සිටින වීරෝධාර තරුණ පරපුර නිසායි. ලංකාවේ සතර දිග් භාගයේ හැම ගමකින්ම තරුණ තරුණියෝ ලක්ෂ ගණනින් තම මාතෘ භූමිය නිදහස් කර ගන්නට, හමුදාවට බැඳුණා. සමහර මෑණිවරු පියවරු තමන්ට ඉන්න දරුවෝ සියළු දෙනාම ත‍්‍රිවිධ හමුදාවට පොලීසියට දන් දුන්නා. වැඩිමහල් දරුවා තම රට වෙනුවෙන් දිවි පුදා තියෙද්දීත්, තවත් දරුවන් හමුදාවට බැන්දුවා.
මිත‍්‍රවරුනි, මේ ජයග‍්‍රහණයේ රහස කුමක් ද කියලා කවුරුන් හෝ මගෙන් ඇසුවොත් මම අත දිගු කරලා පෙන්වන්නේ මේ දරුවන්ගේ අම්මලා, තාත්තලා, බිරින්දෑවරුන් ඇතුලත් අපේ සදාදරණීය ජනතාවටයි. අපේ මුළු මහත් ජාතියම ඒ උතුම් අම්මලා, තාත්තලාට, බිරින්දෑවරුන්ට සදා ණය ගැතියි. ඔවුන් තමාගේ දරුවන් ජාතිය වෙනුවෙන් පූජා කරලා අන් අයගේ දරුවන් ජීවත් කළා.
ජාතිවාදී ත‍්‍රස්තවාදීන් පරදවන්න නම් රටේ ජනතාව පරිනත විය යුතුමයි. දේශයේ වාසනාව කියන්නේ ජනතාවගේ පරිනතභාවයයි.
අපේ ආණ්ඩුව වාගේම මගේ රටේ ජනතාවත් සතුරා කව්ද කියන කාරණය හොඳින් අවබෝධ කර ගෙන හිටියා. සමහර අම්මලා පරම්පරාවෙන් තමන්ට ලැබුණ එකම තැල්ල හමුදාව වෙනුවෙන් පරිත්‍යාග කළා. එහෙම කරන අන්තිම උතුරේ ජනතාව අවතැන් වෙලා එනකොට බත් මුලක් උයාලා යවපු අම්මලා අපේ රටේ ඉන්නවා. තමන්ගේ දරුවා හමුදාවට දීලා, ඒ දරුවා සටන් කරන ප‍්‍රදේශවල ඉන්න ජනතාවට මානුෂික ආධාර යවපු ජනතාවක් කොහේද හිටියේ?
අපේ රණවිරුවෝ එක අතක තුවක්කුවක්, අනෙක් අතේ මානව හිමිකම් ප‍්‍රඥප්තියත්, හදවතේ දරු සෙනෙහසත් පුරවා ගෙන යුද්ධයට ගියා.
ජනතාව එක අතක තිබුණ දේ හමුදාවට පරිත්‍යාග කරළා අනෙක් අතින් අවතැන් වුණ ජනතාවට සළකන ගමන් හදවතින්ම යුද බිමේ හිටියා. සිවිල් ආරක්ෂක කමිටු හදා ගෙන ගම්, නගර, රථ වාහන පවා පරීක්ෂා කරලා රට පරෙස්සම් කර ගත්තා. අපි ත‍්‍රස්තවාදීන්ට එරෙහිව මෙහෙයවූවේ හමුදාව පමණක් නොවේ. අපි ත‍්‍රස්තවාදීන්ට එරෙහිව මෙහෙයවූයේ මේ රටේ ජනතාවයි.
මිත‍්‍රවරුවනි, මේ නිදහස ජනතාවට ලබා දෙන්න අපේ හමුදාවේ දරුවෝ කළ කැප කිරීම අසම සමයි. හිසට කාලතුවක්කු උණ්ඩ වැටෙද්දී පයට බිම් බෝම්බ පෑගෙද්දී ගුවන් යානා වලට පහර දෙන උණ්ඩ හදවතට එල්ල වෙද්දී තමන්ගේ සගයා මැරී වැටෙද්දී අපේ දරුවෝ ඉදිරියටම ගියා. විෂ වායු එල්ල කළත් ගමන නතර කරන්න බැරි වුණා. රජ කාළේ යුධ උපක‍්‍රම පාවිච්චි කළත් ආපස්සට හැරුණේ නෑ.
යෝධ පස් බැමි වැව් ඉවුරු මත අපේ දරුවෝ කී දෙනෙක් තම ජීවිතය පූජා කළා ද? වැහි පිට වැහි වැහැලා මහ ගංවතුරේ දින ගණන් ඉඳලා දෙපා වණ වෙද්දීත් ඉදිරියට ගියා.
අවසානයේ, භූමියේ වාසිය, කාළගුණයේ වාසිය, සහ ව්‍යාජ ප‍්‍රචාර වල වාසිය තිබුණේ ත‍්‍රස්තවාදීන්ගේ පැත්තේ. අපේ දරුවන්ට තිබුණේ චිත්ත ධෛර්යය සහ අසීමිත කැප කිරීම් විතරයි. ත‍්‍රස්තවාදීන් අහිංසක දෙමළ ජනතාව ප‍්‍රාණ ඇපකරුවන් හැටියට තියාගෙන, ඔවුන් මිනිස් පලිහක් ලෙස යොදා ගන්න අතරේ අති නවීන තුවක්කු වලින්, කාල තුවක්කු වලින් පහර දෙද්දී, අපේ වීරෝධාර සෙබළුන් සුළු අවි විතරක් පාවිච්චි කරළා, ජීවිත ලක්ෂ ගණනක් බේරා ගත්තා. මිත‍්‍රවරුනි, නියම සටන් කාමීත්වය එයයි.
ම්ලේච්ඡුකම වීරත්වය නොවේ. මනුෂ්‍යත්වයි වීරත්වය. මේ වීරත්වය ඇතිව සටන් මෙහෙයවපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මාණ්ඩලික හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාෂල් ඩොනල්ඞ් පෙරේරා, යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා, නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක, පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සරත් වීරසේකර වාගේම අවසානය දක්වා අභීතව සටන් මෙහෙවපු සේනාංක අධිපතිවරුන්ටත්, අණදෙන නිලධාරීන් ඇතුළු සියළු නිලධාරීන්ටත්, සියළුම තරාතිරමේ සෙබළුන්ටත්, මුළු මහත් ජාතියේම ගෞරවය පුද කරනවා.
ඒ වාගේම විසි හතර දහසකට ආසන්න වීරෝධාර දරුවෝ නිදහස වෙනුවෙන් සටන් කරලා මාගේ මාතෘ භූමියේ සදහටම සැතපෙනවා. ඒ වාගේම පන්දහසකට ආසන්න දරුවෝ පිරිසක් පූර්ණ ආබාධිත බවට පත්වෙලා ඉන්නවා. මම අද ඔසවපු අර පෙනෙන කොඩිය ලෙල දෙන්නේ අපේ වීරෝධාර රණවිරුවෝ අවසන් මොහොතේ හෙලපු සුසුම් පොද මුසුවෙලයි. ඒ නිසා අපි හුස්ම ගන්න හැම මොහොතකම ඒ වීරෝධාර දරුවන් සිහි කරන්න ඕනෑ. වාගේම ආබාධිත බවට පත් වෙලා අද රෝද පුටුවෙන් මේ පෙළපාළියට සහභාගි වුණ විරුවන්ගේ චිත්ත ධෛර්යයට මගේ ගෞරවය පුද කරනවා. මේ රණවිරුවන් කළ පරිත්‍යාගයන්ට විශිෂ්ඨ වටිනාකමක් ලැබිලා තිබෙනවා. ඒ කළ ශ්‍රේෂ්ඨ පරිත්‍යාගය අපතේ ගිහින් නෑ. ඔබගේ දෙපා අහිමි කර ගත්තේ දෙපයින් හිට ගන්න පුළුවන් මාතෘ භූමියක් ජාතියට ලබා දීලා. දෑත වගේම මස්, ලේ අහිමි වුණේ ලෝකයට සුන්දර සෞභාග්‍යක් දේශයක් ලබා දෙන්න. අපේ වගකීම ඒ ශ්‍රේෂ්ඨ පරිත්‍යාගයට උපහාරයක් වශයෙන් ශ්‍රේෂ්ඨ දේශයක් නිර්මාණය කර දෙන එකයි.
ඒ නිසා ඒ තරම් පරිත්‍යාගයක් කරලා දිනා දීපු රට දෙකඩ කරන්න ඉඩ දෙන්න හෝ බෙදුම්වාදයේ සෙවනැල්ලකටවත් අපේ රටේ ඉඩ නෑ. අපි දෙන විසඳුම්වල ජාතිවාදී බෙදුම්වාදයට, ඉඩක් තබා සේයා මාත‍්‍රයක්වත් තියෙන්න බෑ. අපි හැකි ඉක්මනින්, එකඩ කළ රට යළි දෙකඩ නොවෙන, කලාපයේ සාමයට හානියක් නොවෙන, පිළිගත හැකි අපේම වුණ වැඩපිළිවෙලකට යනවා.
මිත‍්‍රවරුනි, අපි ජාතියක් වශයෙන් නිදහස පරිපූර්ණත්වයට පත්කර ගන්න තව බොහෝ දුර යන්න ඕනෑ. ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් වූ අපට ලෝකය ලවා බලපෑම් කරවන්න ත‍්‍රස්තවාදීන්ට පුළුවන් වුණා. එහෙම වුණේ ත‍්‍රස්තවාදීන් ඒ ඒ රාජ්‍යයන්ට බලපෑම් කිරීමට තරම් බලවත් වුන නිසයි.
ඒ නිසා මගේ මාතෘ භූමියේ ආරක්ෂාවට විදේශ සබඳා වල නව යුගයක් ආරම්භ කළ යුතුව තිබෙනවා. මාතෘ භූමියේ නිදහස දිනාගත් අපි ඊළඟට ජාත්‍යන්තරය තුළ නිදහස ජය ගත යුතුව තිබෙනවා.
මේ නිදහස් සටනේදී ලෝකයේ බොහෝ රාජ්‍යන් අපට මිත‍්‍රත්වයේ හස්තය දිගුකලා ඒ අවංක මිතුරන් අපගේ ස්වාධීනත්වයට කළ යුතු ලොකුම යුතුකම මේ යුගයේ ඉටු කළා. ඒ සියලූ රටවලින් ලැබුණ සහාය අපි ඉතාම අගය කරනවා. ඔවුන් පිළිබඳව මතකය නිදහසේ සතුට බුක්ති විඳින මාගේ ජනතාව තම හදවතේ සදා රඳවා ගනීවි. ලෝකයටත් ධෛර්යයක් වුන අපි අපේ දෙපයින් නැඟී සිටින්න ඕනෑ. අදීන ජාතියක් ගොඩ නගන්න ඕනෑ.
අපිට තිබුණ ලොකුම අභියෝගයක් තමයි මායිම් ගම්මාන ලංකා සිතියමෙන් ඉවත් කිරීම, ඊළඟට තර්ජිත ගම්මාන ලංකා සිතියමෙන් ඉවත් කරන එක. ඒ අභියෝග ජයගත් අපිට දැන් ඉතිරිව තිබෙන්නේ දුෂ්කර ගම්මාන ලංකා සිතියමෙන් ඉවත් කිරීමයි.
මේ රටේ සිතියමෙන් දුෂ්කර ගම්මාන ඉවත් කරන කාර්යයට දැනටමත් අපි මුල පුරලා තියෙනවා. අයවැය හිඟය අවම කිරීම, ආර්ථික සංවර්ධනය, ආයෝජනය ඉහළ මට්ටමකට නැංවීම, ත‍්‍රස්තවාදය මර්ධණය වූ නිසා පය පැකිලෙන්නේ නැතිව ළඟා වෙන්න පුළුවන් ඉලක්ක බව මම දන්නවා.
මිත‍්‍රවරුනි, අපිත් පසුගිය වසර තුන තුළ ණය ආධාර ගත්තා. ඒත් ඒ ණය ආධාර ගත්තේ ජාතික සම්පත් විකුණලා නොවෙයි. අපි ගත්ත සියළුම ණය ආධාර වලින් ජාතික වත්කම් ගොඩනගලා තියෙනවා. ඒ වත්කම් තුළ විදුලි බලාගාර, වරායවල්, ගුවන් තොටුපළ, අධිවේගී මාර්ග තිබෙනවා.
පළමුව, අපි වසර තිහක් තිස්සේ උතුරේ ජනතාවට අහිමිව තිබුණ සියලූ පහසුකම් ලබා දිය යුතුව තිබෙනවා. එය වසර තිහක ත‍්‍රස්තවාදය වසර දෙකහමාරකදී නිමා කළා වගේ ලොව විශ්මයට පත් කරන සංවර්ධන මෙහෙයුමක් බවට සැකයක් නෑ. උතුරේ වසන්තය තියෙන්නේ උදාවෙන්න නොවෙයි, වේගයෙන් හමා යන්නයි.
අපි කොහේවත් තියෙන රටක කාබන් කොපියක් නොවෙයි. ලෝකයටත් පරාද කළ නොහැකි ත‍්‍රස්තවාදය පරාද කරන්න ආසියාවෙන් ධෛර්යය දුන්න අපේ රට ආසියාවේ ආඩම්බරය බවට පත්කර ගන්න ඕනෑ.
මිත‍්‍රවරුනි, සංවර්ධන කටයුතු කරන කොට නොයෙක් මතවාද, දෘෂ්ඨි වාද ඉදිරියට අරගෙන බාධා කරනවා. කල් මරනවා. මතවාද, දේශපාලන න්‍යායයන්, දෘෂ්ඨිවාද තිබිය යුත්තේ රට වෙනුවෙන්. එහෙම නැතුව දේශපාලන, දෘෂ්ඨි වාද න්‍යායයන් වෙනුවෙන් රට කැප කරන්න බෑ. මතවාද න්‍යායයන් වලින් එළියට ඇවිත් රට දිහා බලන්න, අරගලය නොවෙයි ඉදිරියට යා යුත්තේ රටයි.
මතක තියා ගන්න උසස් අධ්‍යාපනයේ ඉඳන්, විදුලිය ලබා දීමේ ඉඳන්, නාගරික සංවර්ධනය දක්වා බොහෝ දේ ජනප‍්‍රිය දේශපාලන තීන්දු මත ක‍්‍රියාත්මක කිරීම රටට කරන ද්‍රෝහි කමක්. නමුත් අපට නොරොච්චෝලේ, ඉහළ කොත්මලේ ඉදි කරන්න පුළුවන් වුනේ ජනප‍්‍රිය දේශපාලනයෙන් එළියට ගිහින් රට ගැන හිතපු නිසයි. අපි තීරණ ගත්තා. ඒවා ජනප‍්‍රිය ද පහසු ද කියන කාරණය නොවෙයි වැදගත්, නිවැරදි ද කියන එකයි වැදගත්. මේ රට මත් ද්‍රව්‍යයට වංචාවට ¥ෂණයට කුසීත කමට පාවා දෙන්න බෑ.
හාමුදුරුවනේ, මීට වසර තුනකට පෙරාතුව ශ‍්‍රී ලාංකිකයාගේ සිහිනයන් හැටියට බොහෝ දේ තිබුණා. ත‍්‍රස්තවාදීන්ට එක බිම් අඟලක් අයිති නොවෙන ආකාරයට ලොව ම්ලේච්ඡුතම ත‍්‍රස්තවාදී නායකයා ඇතුළු ත‍්‍රස්තවාදී නායකයින් සියලූ දෙනා විනාශ වී එකීය රාජ්‍යයක් බිහිවීම සිහිනයක් වෙලා තිබුණා. නමුත් අද ඒ සිහින යථාර්ථයක් බවට පත්වෙලා ඉවරයි. මේ රටේ සංවර්ධනය සම්බන්ධයෙනුත් මට කිව හැක්කේ එයයි. අපි ඉන්නේ සිහින යථාර්ථයක් බවට පත් කරන යුගයක.
මිත‍්‍රවරුනි, අපි මේ ජයග‍්‍රාහී යුගයේ අමතක නොකළ යුතු වැදගත් දෙයක් තිබෙනවා. ඒ අපේ ළමා පරපුර. දරුවෝ අපේ විජයග‍්‍රාහී ගමන දිහා ලොකු උනන්දුවකින් ආදරයකින් බලා සිටියා. තමන්ගේ පියවරු, සහෝදරවරු, සහෝදරියන් මව්බිම බේරා ගන්න යන වික‍්‍රමාන්විත ගමන දිහා රූපවාහිනී තිරවලින් බලලා මහා සතුටක් ලැබුවා. අප මාතෘ භූමිය නිදහස් කරගත් ආරංචිය සැලවුන ගමන්ම වැඩිපුරම සතුටු වුණේ ළමා පරපුර. ඊළඟට අපේ තරුණ පරපුර අත තමයි වැඩිපුරම සිංහ කොඩිය ළෙල දුන්නේ.
මගේ අදරණීය දුවේ ෟ පුතේ ෟ රටට ආදරය කරන ඔබ වැනි අනාගත පරපුරක් දෑසින් දකින්න ලැබීම ගැන ලෝකයේ ඉතාම ආඩම්භර වෙන රාජ්‍ය නායකයා මමයි. ඒ වාගේ පරපුරක ආඩම්බරකාර තාත්තා මමයි. මම ඔබට එදා කිව්වා අද අපිට තියෙන ප‍්‍රශ්න ඔබගේ අනාගතයට බාර දෙන්නෙ නෑ කියලා. දැන් අපි දුවලා පුතාලට මුහුණ දෙන්න ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නයක් මේ රටේ ඉතුරු කරලා නෑ.
ඒ නිසා ඔබගේ යුතුකම මේ එක්සේසත් කළ රට රැුක ගන්න ඇහැකි, ඥානයෙන්, ගුණයෙන්, ශක්තියෙන් පිරුණ රටට ආදරය කරන යෝධයෙක් වෙන එකයි. මම නැවතත් අවධාරණය කරනවා.
මම මේ රටේ හිමිකරුවා නොව මම මේ රටේ භාරකරුවා පමණයි. ඒ නිසා බිය සැකනැති මේ එක්සේසත් කළ රට ඔබට භාරයි.
ඔබ සැමට සුබ අනාගතයක්..!
තෙරුවන් සරණයි.